කොළඹ කොටුවේ සිට මීරිගම බලා ධාවනයවූ මන්දගාමී දුම්රියක් හුණුපිටිය ප්රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය දක්වා සැතපුම් හතරක් පමණ පසුපසට ගමන් කරවීමට ඊයේ (1) සිදුවූ බව වාර්තා වේ.
ඒ ආකාරයට පිටුපසට ධාවනය කර කැලණිය දුම්රිය ස්ථානය අසලට ළඟාවීමෙන් පසු වෙනත් දුම්රිය මාර්ගයක් ඔස්සේ දුම්රිය ඉදිරියට ධාවනය කරවීමට එහි රියදුරෝ පියවර ගත්හ.
මේ හේතුවෙන් දුම්රිය පැයකට ආසන්න කාලයක් ප්රමාදවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.
දුම්රිය මෙසේ පසුපසට ධාවනය කෙරුණේ දුම්රිය බලධාරීන්ගෙන් ලබාගත් විශේෂ අවසරයක් අනුව බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය පොළෙන් ගමන් ආරම්භ කළේ රාත්රී 9.45 ට පමණය. ඊට විනාඩි පහළොවකට පමණ පසුව හුණුපිටිය දුම්රිය ස්ථානය අසලට ළං වෙද්දි මෙම සිද්ධියට මුහුණ දුන්නේය.