පුරාණ රුහුණේ පැවති මානාවුළු පුරය තමයි, පළමුවැනි විජයබාහු රජු සොලීන් පරාජය කිරීමට සටන් සැලසුම් කළ බිම. එහි තිබෙන රම්බා විහාරය අදටත් පුරාණ සෞභාග්‍යය මතු කරන නටබුන් බිමක්. වැඩිදෙනෙක් නොයන, ඒත් යායුතු තැනක් ලෙස අම්බලන්තොට රම්බා විහාරය සදහන් කළ හැකියි.
මානාවුළු පුරය
මහින්ද රජුගේ පාලන කාලයේදි අනුරාධපුර රාජධානිය සොලී ආක්‍රමණවලට ලක්වුණා. රාජකීයයන් පණ බේරා ගැනීමට රුහුණට පලා ආ බව මහාවංශය සදහන් කරනවා. අනුරාධපුර රාජධානිය බිඳවැටීමෙන් පසු අවුරුදු 52ක් රට පාලනය කළේ චෝල ආක්‍රමණිකයන්. ඒ ක්‍රිස්තු වර්ෂ 1017 සිට 1070 දක්වා යි. ප්‍රබල චෝල අධිරාජයන්ට එරෙහිව නිදහස් සටන මෙහෙය වූ පළමුවැනි විජයබාහු රජතුමා (1070-1111) පළමු ව කළේ රුහුණ එක්සේසත් කිරිම යි.
මේ කාර්යය ඇරඹුණේ රම්බා විහාරය ආශ්‍රිත ව පැවති මහානාගකුල (මානාවුඑ) බළකොටුවේ සිට බව ඓතිහාසික මූලාශ්‍රවල පැවසෙනවා. මනාවුළු නගරයට පැමිණි විජයබාහු ඈපා අවුරුදු 15 ක කාලයක් තිස්සේ මෙහි සිට සටන් සැලසුම් කර තිබෙනවා. පොළොන්නරුව නගරය වටලා චෝල සේනාව පලවා හැර 1070 දි ශ්‍රී ලංකාව ම චෝල අධිරාජ්‍යයෙන් නිදහස් කර ගැනීමට විජයබාහු රජුට හැකියාව ලැබෙනවා.
ඉතිහාස මූලාශ්‍ර දක්වන්නේ ඉන් පසුව පළමුවන පරාක්‍රමබාහු රජු ද හත් හැවිරිදි වියේ දී තම මව වූ රත්නාවලී බිසව සමඟ වානාවුළු පුර වාසය කළ බව වංශකතාවල සදහන් වෙනවා. සුගලා බිසව රුහුණ පාලනය කරද්දී මෙම විහාරයෙහි ඇති දාගබෙහි කලක් දළදාව තැන්පත් කර තිබූ බව පැවසෙනවා. හෙයින් රාජකීය අනුග්‍රහය නිතර මේ විහාරයට ලැබී තිබෙනවා.
මානාවුළුපුර මහා විහාරය මේ ප්‍රාදේශීය නගරයේ රජමහා විහාරය වශයෙන් පැවතුණේ රම්බා විහාරය බව පුරාවිද්‍යා ගවේෂණෂවලින් හෙළිවුණා. 12 වැනි සියවසේ සිට බුරුමයේ රාමඤ්ඤ දේශය සමඟ මේ විහාරය සමීප සබඳතා පැවැත්වූ බව කැණීම්වලින් හමු වූ පුරාවස්තුවලින් හෙළි වුණා. එවකට රාමඤඤ දේශයේ කාශ්‍යප නම් මහ තෙර නමක් මේ විහාරයට ලියා එවූ සංදේශයට පිළිතුරු වශයෙන් රම්බා විහාරාධිපති ව සිටි නාගසේන හිමි පාලි භාෂාවෙන් මානාවුළු සංදේශය ලියා යවා තිබෙනවා. එම පාලි කාව්‍යය පළමු වන පරාක්‍රමබාහු රජු සමයේ (1153-1186) එනම් 1181 දී රචනා කරන ලද්දක් බව සඳහන් වෙන අතර එය පාලි කාව්‍ය 62 කින් යුක්ත යි. පද සාධනය නම් පාලි ව්‍යාකරණ පොතේ ද මේ විහාරය විසිතුරු ලෙස කවියට නඟා තිබෙනවා.
පිහිටීම
රම්බා විහාරය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාමඩල උඩරොට ගමේ පිහිටා තිබෙනවා. මාතර හම්බන්තොට මාර්ගයේ නෝනගම හන්දියෙන් හැරි ඇඹිලිපිටිය මාර්ගයේ කිලෝ මීටර් 10 ක් ගමන් කිරීමෙන් හෝ රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ ඇඹිලිපිටියේ සිට නෝනගම හන්දිය දෙසට කිලෝ මීටර් 22 ක් ගිය විට මෙම පූජනීය ස්ථානයට පිවිසිය හැකි යි.
රම්බා විහාර නටබුන් බිම
රම්බා විහාර සංකීර්ණයට අයත් පුරා වස්තු අක්කර 250 ක පමණ ප්‍රදේශයක විසිර පවතිනවා. විහාර බිමේ සිමාව වශයෙන් උතුරින් වලවේ ගඟ ද, බටහිරින් සහ දකුණින් වලවේ ගඟ ලියන්ගස්තොටින් හරවා එන මාමඩල ඇළ ද (කොස්වතු ආර), නැගෙනහිරින් වැලිපාර නම් මාර්ගය ද පිහිටා තිබෙනවා. වනගත නටබුන් බිමක් වශයෙන් පැවති රම්බා විහාර භුමිය අංගසම්පූර්ණ කැණීමකට භාජනය වුණේ මධ්‍යම සංස්කෘතික අරමුදල 2000 දී ආරම්භ කළ රම්බා විහාර ව්‍යාපෘතිය නිස යි. විහාරයේ නටබුන් ගොඩනැගිලි කැණීම් කර පාදා ගෙන සංරක්ෂණය කර තිබෙනවා. ඉන් ලැබුණු පුරාවස්තු තැන්පත් කර කෞතුකාගාරයක් ද විහාර බිමේ ඉදි කර තිබෙනවා. මේ නිසා පුරාණ සෞභාග්‍යමත් රජමහා විහාරය ගැන දළ අදහසක් අපට ලබාගත හැකියි.
පුරාණයේ දී වලවේ ගඟේ මෝය පිහිටි ගොඩවාය දක්වා පුරාවස්තු විසිරී තිබුණු බවට සාධක හමුවෙනවා. රම්බා වෙහෙර සංකීර්ණය දෙපස ජලවහන පද්ධති නිසා ඉතා සශ්‍රීක ව පැවති බව සඳහන් වෙනවා. මෙම භූමි ප්‍රදේශය අර්ධ ශුෂ්ක කලාපයට අයත් වූවත් මාමඩල ඇළෙන් හා වළවේ ගඟෙන් වට වී ඇති හෙයින් කර්කෂ හා වියළි බවින් අඩු සිසිල් තෙතමනය සහිත භූමියක ලක්ෂණ පළ කරනවා.මෙහි කරන ලද ගවේෂණ හා කැණීම් මඟින් හමු වී ඇති පුරාවිද්‍යාත්මක ශේෂ සහ ගොඩනැගිලිවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අනුව අනුරාධපුර යුගයේ අවසාන භාගයේ දී ඉදි කරන්නට ඇතැයි නිගමනය කර තිබෙනවා.
ගොඩනැඟිලි සංකීර්ණ
නටබුන් බිම පුරා පිහිටි ගොඩනැඟිලි සංකිර්ණ සංඛ්‍යාව 15ක්. එක් ගොඩනැඟිලි සංකීර්ණයක් වටා ගඩොල් ප්‍රාකාර බැමි දක්නට ලැබෙන අතර එම සංකීර්ණයක් ඇතුළත ගොඩනැඟිලි 04 ක් හෝ 05 ක් ඉදිකොට තිබෙනවා. එම ගොඩනැඟිලි බෝධිඝර, සන්නිපාත ශාලා, ස්තූප, ප්‍රතිමා ගෘහ, පොකුණු, භික්ෂු කුටි, කැසිකිළි සහ වැසිකිළි ආදි වශයෙන් සඳහන් කළ හැකි යි. මෙම ගොඩනැඟිලි වටා පිහිටි ප්‍රාකාර ද පාදා ගෙන සංරක්ෂණය කර තිබෙනවා. ආරාම ගොඩනැගිලි නිර්මාණය සඳහා වැඩි වශයෙන් භාවිත කර තිබෙන්නේ ගඩොල්.
මෙහි ඇති ගල්කණුවල ඇති කැපුම් සලකුණුවල ස්වභාවය අනුව ඒවා අනුරාධපුර යුගයට අයත් බව හඳුනා ගෙන තිබෙනවා. ගල්කණු වල මටසිළුටු බවක් දැකගත නොහැකි අතර ඒවා රළු ආකාරයක් ගන්නවා. ගොඩනැඟිලිවල දොරටුවල කැටයම් රහිත චාම් සදකඩ පහණ, මුරගල් හා කොරවක්ගල් දැක ගත හැකි යි. ගොඩනැඟිලි සෙවිලි කිරිම සදහා පෙති උළු හා රවුම් වර්ගයට අයත් මැටි උළු යොදා ගෙන තිබෙනවා. මෙම උළු, අවටින් බහුල ව හමු වී තිබෙනවා. මෙහි වු පෙති උළුවල ඇති ඇගිලි සලකුණු අනුව බොහෝ උළු ක්‍රිස්තු වර්ෂ 8 – 9 සියවස්වලට අයත් බව හෙළි වී තිබෙනවා.
අනුරාධපුර යුගයේ ළිඳ සහ පොකුණු
අංක 21 ලෙස නම්කර ඇරති විහාර සංකීර්ණයේ ගඩොලින් නිර්මාණය කළ අඩි 25 ක් පමණ ගැඹුරක් ඇති ළිඳක් දකින්න පුළුවන්. එයට භාවිත කර ඇති ගඩොල්වල ප්‍රමාණය අනුව ඒවා අනුරාධපුර යුගයේ අවසාන කාලයට අයත් බවට කාලනිර්ණය කර තිබෙනවා. ළිඳ ඉහළ කොටස පසුකාලීන ව එය භාවිත කිරීමේ දී අලුත්වැඩියා කර තිබෙනවා.
මෙම නටබුන් බිමේ පුරාණයේ භාවිත කළ පොකුණු දෙකක් හඳුනා ගෙන තිබෙනවා. එක් පොකුණක් මාමඩල ඇළේ ජලය ලබා ගෙන ගඩොලින් නිර්මාණය කළ විශාල පොකුණක්. එය භික්ෂුන් වහන්සේට ස්නානය කිරීමට නිර්මාණය කළ පොකුණක් බව පැහැදිලි යි. හමුවූ අනෙක් පොකුණ අලංකාරයට ඉදිකළ කුඩා පොකුණක්.
බුදු පිළිමය
අංක 5 ආරාම සංකිර්ණයෙන් හුණු ගලින් නිම කළ කුඩා ප්‍රමාණයේ හිදි බුදු පිළිමයක් හමු වුණා. එය පුවරුවක කටයම් කළ පිළිමයක්. පිළිමයේ ආසනයේ පිටුපස පුවරුවේ හඳුනාගත නොහැකි රූප දෙකක් නෙළා තිබෙනවා. ඒ සමහරවිටට සෙමර සලන දෙව් රූ දෙකක් යැයි අනුමාන කළ හැකි යි. නිර්මාණ ලක්ෂණ අනුව මෙම පිළිමය ක්‍රිස්තු වර්ෂ 8 වන සියවසට පමණ අයත්යැයි සැලකෙනවා.
අංක 21 ආරාම සංකිර්ණයෙන් හිටි බුදු පිළිමයක් සොයා ගැනීමට ලැබුණා. එම පිළිමය අමරාවති සම්ප්‍රදායට අනුව කළ නිර්මාණයක්. එම පිළිමයේ සිරස කැඩී ගිහින්.
සන්නිපාත ශාලාව ගොඩනැඟිල්ල කැණිම් කිරීමේ දී පුරාවස්තු සහිත පාත්‍රයක් හමු වුණා. එම පාත්‍රය පියන් සහිත මැටි භාජනයකට දමා තිබු අතර පාත්‍රය මඳක් ඝනකම් සහිත පියන් දෙකක් හා තුනි පියනකින් සමන්විතයි. පාත්‍රය තුළ තාලම්පොට දෙකක් හා රන් ආලේපිත කරඬුවක් ද හමු ව තිබෙනවා.
බෝධිඝරය
බෝධිඝරය පස්වන මහින්ද රජුගේ කාලයේ (ක්‍රි.ව. 947-1040) ඉදි කළ බව සැලකෙනවා. එය මාලක දෙකකින් සමන්විත යි. පිට මාලයේ ප්‍රවේශයේ චාම් සඳකඩපහණක් දැක ගත හැකි යි. බෝධිඝරය චතුරශ්‍රාකාර වන අතර එය ඝනකම් බිත්තිවලින් යුක්ත යි. බෝධිඝරය සිව් දිසාවේ ගඩොල් බුදු පිළිම හතරක් තැන්පත් කොට තිබු බව පෙනෙනවා.
පිළිමගෙය සහ දාගබ්
පිළිමගෙය ගඩොල් බිත්තිවලින් ඉදිකළ ගොඩනැඟිල්ලක්. එහි දොරටුව ඉදිරිපස චාම් සඳකඩ පහණක් දැක ගත හැකි යි. මෙහි බිත්ති වැඩි ඝනකමකින් යුක්ත යි. ගල්කණු රාශියක් ද පිළිමගෙයි දැක ගැනීමට ලැබෙනවා. එතුළ ගඩොලින් තැනූ සැතපෙන බුදු පිළිමයක් තිබූ අතර, පිළිමය සහිත වේදිකාව හුණු බදාමයෙන් ආවරණය කොට පැවති බව හෙළි ව තිබෙනවා.
රම්බා විහාර සංකීර්ණයේ පුරාණයේ දාගබ් තුනක් තිබුණු බවට සාධක පවතිනවා. ඒ අතරින් එක් දාගබක් විහාරයේ දාගබ ලෙස භාවිත කිරීමට අතීතයේ දී ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. පැරණි දාගබ්වලට අයත් ගඩොල් ගොඩැලි දෙකක් ද මෙහි තිබෙනවා.
කැණීම්වලින් ලැබුණු කාසි
විහාර බිමේ පිටත ප්‍රාකාර බැම්මේ උතුරු දිශාවට විහිදුණු ආරාම සංකීර්ණයක් යැයි අනුමාන කෙරෙන ගොඩනැඟිල්ලක කැණීම් කිරීමේ දී කාසි 231ක් හමුව තිබෙනවා. මෙම කාසි හමුවන විට ගුලියක් ආකාරයට පස් සමඟ එකට බැඳී තිබුණා. මෙම කාසි සියල්ල ම පොළොන්නරු යුගයට අයත්. ලීලාවතී රැජන, චොඩගංඟදේව රජු ආදීන් නිකුත් කළ කාසි සහ සාහස්සමල්ල රජුගේ කාසි ද මෙහි දී හමු ව තිබෙනවා.
Kusumsiri Wijayawardena
සටහන උපුටාගැනිමකි..