ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම වළක්වාලමින් එම පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර වෙත නිකුත් කළ වාරණ නියෝගය මේ මස 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (22) නියෝග කළ බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ එහි වැඩ බලන මහලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාල විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවනු ලැබීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝග නිකුත් කෙරුණි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම වාරණ නියෝගයට අදාළව වගඋත්තරකරුවන් විසින් විරෝධතා ඉදිරිපත් කරන්නේ නම් එය ලබන 29 වනදා කැඳවන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අදාල විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට අවසර ලබා දුන් අධිකරණය අනතුරුව පෙත්සම ලබන 29 වනදා කැඳවීමටද නියම කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව එහි මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ දයාසිරි ජයසේකර එම තනතුරින් ඉවත් කල බවයි. ඉන් පසුව එම ධුරයේ වැඩ බැලීම සඳහා සාරති දුෂ්මන්ත මිත්‍රපාල පත් කල බවත් පැමිණිල්ලේ සඳහන් වේ. අනතුරුව දයාසිරි ජයසේකර ට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කොට කරුණු විමසීමට කටයුතු කර ඇති බවත් එහි සඳහන් වේ.
එසේ තිබියදී දයාසිරි ජයසේකර විසින් වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත මිත්‍රපාලගේ කටයුතුවලට බාධාවන ආකාරයෙන් සාවද්‍ය නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
ඒ අනුව මේ ආකාරයේ නීති විරෝධී කටයුතුවල නිරත වීම වළක්වාලමින් දයාසිරි ජයසේකර වෙත වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.