මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් තරුණයෙකුගේ මරණය සැකකටයුතු බවට පවුලේ ඥාතීන් චෝදනා කර තිබේ.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විශේෂ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ(30) පෙරවරුවේ මෙම තරුණයා ඇතුළු තවත් තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන සිටියදී,මිය ගිය තරුණයා පොලිස් සිරමැදිරිය තුලදී හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර පදිංචි ශානුක ගිහාන් මාරඹගේ නමැති වයස අවුරුදු 22ක පවුලේ එකම පිරිමි දරුවාය.
මියගිය තරුණයාගේ මව විදේශගතව සිටින බවත් ආච්චි සහ සීයාගේ රැකවරණය යටතේ මියගිය තරුණයා ජීවත්වන බවත් පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ.
මෙම මරණය පිළිබඳව සැක සහිත බවත් පොලිස් අත්අඩංගුවෙන් පසු කිසියම් දෙයක් සිදුව ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මත්ද්‍රව්‍යවලට සම්බන්ධව සැකපිට මෙම තරුණයා ඇතුළුව ඔහුගේ තවත් මිතුරන් තිදෙනෙකු ඔවුන්ගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගිය බවත් පසුව ඔවුන්ගේ ඥාතීන් පොලිසියට ගිය විටදී තරුණයන්ට අවශ්‍ය ආහාර ලබා දී යළිත් නිවසට පැමිණ ඇති අතර,පස්වරුවේ ඥාතීන්ට කිසියම් අයෙකු විසින් දුරකථන මගින් දැනුම්දී තිබෙන්නේ තරුණයා හදිසියේ රෝගීවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන්ට රෝහලට කඩිනමින් පැමිණෙන ලෙසත්ය.
එම දැනුම්දීමට අනුව එහි ගිය ඥාතීන්ට දැකගැනීමට හැකි වී තිබෙන්නේ මියගිය තරුණයාගේ නිසල දේහයයි.
මේ පිළිබඳව පොලිසියෙන් සිදුකළ විමසීමේදී උසස් පොලිස් නිලධාරීවරයකු සඳහන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට නොමැතිවීම හේතුවෙන් සිදුවූ සංකූලතාවයක් හේතුවෙන් ඔහු සිරමැදිරිය තුළදී රෝගී වූ බවත් පසුව කඩිනමින් රෝහල් ගත කළ බවත්,මෙහිදී මෙම තරුණයා මිය ගිය බවට දැනගැනීමට ලැබුණු බවත් ය.
තවද මොහුට පෙර වැරදි පහක් තිබෙන බවත් ඔවුන් පවසයි .
කෙසේ වෙතත් මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන් පවසන්නේ පොලිස් කණ්ඩායම පෙරේදා(29) දිනයේද මෙලෙස මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට පැමිණි බවත් එම අවස්ථාවේ ඥාතීන්ගේ දැඩි විරෝධතාවය හමුවේ ඔවුන් මෙම තරුණයා අත්අඩංගුවට නොගෙන ගිය බවත් පසුව ඊයේ දින පෙරවරුවේ යළිත් පැමිණ ඔවුන්ව අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගිය බවයි.
අත්අඩංගුවට පත් අනිත් තරුණයින් තිදෙනා තවදුරටත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රඳවා තිබෙන බවත් ඔවුන් අද(31) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය සඳහන් කර තිබේ.