ලිංගික උත්තේජක පෙති තොගයක් සමඟ අයෙක් මාට්ටු.

කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකින් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද ලිංගික උත්තේජක තොගයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, කෙසෙල්වත්ත, සිල්වර් ස්මිත් පටුමග ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි වියේ පසුවන අයෙකි.

එහිදී සැකකරුගේ නිවසේ ගබඩා කර තිබූ ලිංගික උත්තේජක පෙති 31,750 ක් සහ ලිංගික උත්තේජක ජෙල් පැකට් 259 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර වෙනත් පුද්ගලයකුට ලබාදෙන තෙක් එම තොගය මෙලෙස ගබඩාකර තිබූ බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඒවා ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා තුළ සඟවා මෙලෙස මෙරටට රැගෙනවිත් ඇති බවයි .

සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version