නරක් වූ අර්තාපල් බීජ වෙනුවට අලුත් තොගයක්.

යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවකට වැසි ජලය කාන්දු වීම නිසා නරක් වූ බීජ අර්තාපල් තොගය වෙනුවට හොඳ බීජ අර්තාපල් තොගයක් නොමිලයේ ම ලබා දීමට අදාල සමාගම එකඟත්වය පළ කළ බවට කෘෂි නව්‍යකරණ අංශයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම්  දුන් බව වාර්තා වේ.

මෙම බීජ අර්තාපල් තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය විසින් ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කර ඇති අතර පෞද්ගලික සමාගමක් ඒවා ආනයනය කර තිබේ.

යාපනයේ අර්තාපල් ගොවීන්ට නොමිලයේ බෙදා දීමට මෙට්‍රික් ටොන් 20ක් වන බීජ අර්තාපල් තොගය ගබඩා කර තිබිණි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 10කි.

ඒ අනුව මෙම බීජ අර්තාපල් නරක් වීමට ප්‍රධාන හේතුව පසුගිය කාලය පුරාම යාපනය ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාව නිසා ගබඩාවට ජලය කාන්දු වීම බව ද අනාවරණය වී තිබේ.

Exit mobile version