මේ වසරේ සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 26කට අධික මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇති බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා ඇති බව වාර්තා වේ.
ජනවාරි සිට මේ දක්වා කාලය තුළ වෙළෙඳපොළ තුළ වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 21,000ක් පමණ නඩු පවරා ඇති බවට එම අධිකාරිය සඳහන් කර තිබේ.
එහි දී අධිකරණය මඟින් රුපියල් විසි හය කෝටි හැත්තෑ හය ලක්ෂ තිස් දහස් හාරසිය හතළිස් අටක පමණ මුදලක් දඩ වශයෙන් අය කරගෙන තිබේ.
වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා ගැනීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්රදර්ශනය නොකිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අදාළ නඩු පවරා ඇති බව සඳහන්.
මේ අතර, උත්සව සමය ඉලක්ක කරගනිමින් ආරම්භ කළ විශේෂ වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1,185ක් සිදු කර තිබේ.
ඉදිරි දින කිහිපයේ දී එම වැටලීම් අඛණ්ඩ ව සිදු කරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කර තිබේ.