පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වටලයි.

වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චාමින්ද සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත වලගෙදර ප්‍රදේශයේදී කෘමීන් සහිත සහල් කිලෝග්‍රෑම් 600කට ආසන්න ප්‍රමාණයක් ලොරි රථයක් සමඟ වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම ලොරි රථය හරහා නිරන්තරයෙන් මතුගම , වලගෙදර ප්‍රදේශයේ පිහිටි ගබඩාවකට කෘමීන් සහිත සහල් ගෙනැවිත් ඔපදමන බවට ලද තොරතුරක් මත එම ගබඩාව ආසන්නයේ දී අදාළ ලොරි රථය පරීක්ෂා කිරීමේදී කෘමීන් සහිත මෙම සහල් තොගය සොයා ගෙන තිබේ.

එමෙන්ම එහිදී ඔප දමන ලද සහල් පසුව වැලිපැන්න ,බේරුවල, අලුත්ගම, දර්ගා නගරය ආදී ප්‍රදේශවල පිහිටි ආපන ශාලාවලට අඩු මුදලට අලෙවි කරන බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් භාරයට ගත් මෙම සහල් පිළිබඳව මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගෙන්වා පරීක්ෂා කිරීමේදී එම සහල් පරිභෝජනයෙන් ඉවත් කරන ලද සහල් බවත් , ඒ තුළ කෘමීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබූ බවත් සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දර්ගා නගරයේ පදිංචි  42 හැවිරිදි ලොරි රථයේ රියදුරු වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම සහල් සහිත ලොරිය මුද්‍රා තබා තිබේ.

සැකකරුව අද (22) දින මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version