අනියම් සැමියා සමග එක්ව සැමියා ඝාතනය කළ බිරිඳක්

පසුගිය ජූලි මස 27 වනදා මාවනැල්ල,ගලතර ප්‍රදේශයේ මාර්ගයක් අසල තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු මාවනැල්ල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් තිබූ බවට වාර්තා වේ.

එසේ මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි ගැමුණු කුමාර නැමැති තිදරු පියෙකි.

ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් එම තැනැත්තාගේ බිරිඳ වන (41) හැවිරිදි කාන්තාව සහ ඇගේ අනියම් සැමියා ඇතුලු තිදෙනක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ලබන 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) නියෝග කර තිබේ.

එලෙස මරණයට පත් වූ එම පුද්ගලයාගේ බිරිඳ ඇගේ අනියම් සැමියා සමග එක්ව මෝටර් රථයකින් ගොස් සැමියාව අනතුරට පත් කොට මෙම මරණය සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ.

එම මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී විවෘත තීන්දුවක් ලබා දී තිබුණි.

ඒ අනුව මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිරුර භාරගෙන අවසන් කටයුතු සිදු කර ඇති බවට ද වාර්තා වේ.

කෙසේ වෙතත් මාස තුනක් පුරා මෙම මරණය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් මිය ගිය පුද්ගලයාගේ බිරිඳගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කරමින් පර්යේෂණ සිදු කර තිබුණි.

විමර්ශන වලට අනතුරුව මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ ඇගේ අනියම් සැමියා වන හිගුල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපරිකයෙකු හා අනතුරට ලක් කල මෝටර් රථය පැදවූ රියදුරුව අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

Exit mobile version