අනියම් පෙම් සම්බන්ධතාවක් හා මත්ද්‍රව්‍ය ආරවුලක් මත පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට පැමිණ ඔහු නොමැති නිසා නිවැසියන් කපා කොටා දේපළවලට හානි සිදුකළ හය දෙනෙකුගෙන් යුත් කල්ලියක් මුල්ලේරියාව පොලිසිය විසින් පෙරේදා (24) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 25ත් අතර වයස්වල පසුවන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කල්ලියකි. ඔවුන් සන්තකයේ තිබූ මන්නා පිහියක්, කඩු දෙකක් හා ජීව අත්බෝම්බ දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇති බවට මුල්ලේරියාව පොලීසිය සඳහන් කර තිබේ.
මුල්ලේරියාව කැලණි නදිය මාවතේදී සැක සහිතව ත්‍රිරෝද රථයක රැඳී සිටි පිරිසක් පෙරේදා (24) අලුයම මුල්ලේරියාව පොලීසියේ අපරාධ අංශයේ රාත්‍රි මුර රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් දෙදෙනෙකු විසින් පරීක්ෂාවට ලක්කර ඇත.
මෙහිදී ත්‍රිරෝද රථය තුළ ලේ තැවරුණු මන්නා පිහියක්, කඩු දෙකක් හා ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබුණු අතර, එම නිලධාරීන් දෙපළ මේ ගැන පොලීසියට සිදු කරන ලද දැනුම් දීම මත මොවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ අලුයම 2.30ට පමණය.
මෙම සැකකරුවන් මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිමල් සුසන්ත හමුවට ඉදිරිපත් කළ අතරතුර 119 පොලිස් හදිසි ඇමැතුම් අංකය ඔස්සේ තොරතුරක් ලැබී තිබුණේ මුල්ලේරියාව පිංතාලිය, බටකැටිය හන්දියේ නිවසකට පැමිණි පිරිසක් නිවසේ පිරිසට කඩු හා මන්නා පිහිවලින් පහර දී ඇති බවයි.
මේ අනුව කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් විසින් එම අපරාධය සිදුකර තිබූ බවට අනාවරණය වී තිබිණි.
මුල්ලේරියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන කුඩු මධූ නමැත්තියගේ සැමියා නමිත් චාරුක නමැත්තා මීට කලකට පෙර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් ජාවාරම් සඳහා සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණ ඇත්තේ පසුගිය 21 වැනිදාය.
නමිත් චාරුක නමැත්තා බොරැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන තිසර මහේෂ් නැමැත්තාගේ සොහොයුරා කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබෙන අතර මේ හේතුවෙන් තිසර මහේෂ් නමැත්තාගේ පාර්ශ්වය ඔහු ඝාතනය කිරීමට සැලසුම් කර සිට ඇත.
මෙම ඝාතන කුමන්ත්‍රණයට හා උත්සහායට සචිත් දිල්ෂාන් නමැති තරුණයෙකුද සම්බන්ධ වී ඇත්තේ චාරුක නමැත්තා සිය පෙම්වතිය සමගින්ද අනියම් ඇසුරක් පැවැත්වීමේ පළිය ගැනීම සඳහාය.
මේ අනුව මොවුන් චාරුක නමැත්තා පදිංචි පින්තාලිය ප්‍රදේශයේ නිවසට ගොස් ඇතත් එහි ඔහු නොසිටීම මත නිවැසියන්ට හා දේපළවලට පහර දී අලාභ හානි සිදුකර ඇත.
පසුව පලා ආ පිරිස කඩුවෙල සිට බොරැල්ල දක්වා යන මාර්ගය වැරදී යාමෙන් මුල්ලේරියාව ප්‍රදේශයේ ත්‍රිරෝද රථයේ රැඳී සිටියදී පොලිස් පරීක්ෂාවට ලක්කර තිබේ.
සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් සියලු දෙනාම කොළඹ ප්‍රධාන පෙළේ සුපිරි පාසල්වල අධ්‍යාපනය ලැබූවන් බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා චාරුක නමැත්තා හා ඇතිවූ ආරවුල් නිසා ඔහු ඝාතනය කිරීමට පැමිණි බවත් පවසා ඇති බවට පොලීසිය සඳහන් කර තිබේ.
මෙම සැකකරුවන් පරීක්ෂාවට ලක්කර අත්අඩංගුවට ගැනීමට කඩිනමින් කටයුතු කළ මුල්ලේරියාව පොලීසියේ කොස්තාපල්වරුන් වන (96926) සෙනෙවිරත්න, (101633) එරංග, (103603) චන්ද්‍රලාල්, (50205) ජගත් යන නිලධාරීන්ට ත්‍යාග ප්රදානය කරන ලෙසට බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති හසන්ත මාරපන මහතා උපදෙස් ලබා දී තිබේ.
මෙම සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සදහන්.