අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක් කටා’ නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සඳහා අධිකරණය දැනුවත් කර අවසර ලබාගත යුතු බවට අභියාචනාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
හරක් කටා නමැත්තාගේ පියා වන නෙල්සන් වික්රමරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.
පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළ විනිසුරුවරයා සැකකරු රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම්, ඊට කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් සහ අභියාචනාධිකරණයෙන් අවසර ලබා ගන්නා ලෙසට නියෝග කර ඇති බව සඳහන්.
අනතුරුව පෙත්සම යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට ද නියෝග කෙරුණු අතර දැනට අත්අඩංගුවේ පසු වන සිය පුත්රයාට පනවා තිබෙන රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරක් කටා නමැත්තාගේ පියා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.