පුරාවිද්‍යාත්මක ස්ථානයක් අනතුරේ – වරද බලධාරීන්ගේ?

බදුල්ල දිස්ත්‍රික්කයේ,හපුතලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අලුත්වෙල උතුර ග්‍රාම සේවා වසමේ පිහිටි “කුරුදියවල තැන්නේ අම්බලම” නමින් නම් කර තිබෙන අම්බලම මේ වන විට විනාශයට පත් වෙමින් තිබේ.

අවසන් භූමි සිතියමේ 65A නැමැති කොටස් පර්චස් 27ක් වෙන් කර තිබුණත් ,අම්බලම ආසන්නයේ නිවසක් ඉදිවෙමින් තිබීම නිසා එය මේ වන විට විනාශයට ලක්වෙමින් තිබේ.

එම පෞරාණික අම්බලම අයත් ඉඩමේ සැලසුම් අංකය වන්නේ FVP-387 දරණ සැලසුමයි.

එසේම මෙම පුරාවිද්‍යා රක්ෂිතය තුළම ,අම්බලමට ආසන්නව පිහිටා තිබූ ඉතාම පැරණි නුග ගසක්ද කපා දමා තිබේ.අපට වාර්තා වන ආකාරයට එම නිවැසියන්ම අසල තිබෙන මාර්ගයකද වෙන් කර තිබෙන කොටසක්ද අත්පත් කරගෙන තිබේ.

එසේම මෙම අම්බලමේ ගල් ගැලවී යන අතර නිවස පැත්තට වන්නට තිබෙන ගල් ගලවා දමා තිබෙන බවද වාර්තා වේ.

පුරාවිද්‍යා රක්ෂිතයට පර්චස් 27ක් ඉවත් කර තිබියදී ,මෙම ස්ථානයේ නිවසක් ඉදි වූයේ කෙසේද? එසේම පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර තිබෙන මෙම ස්ථානයේ තිබූ අවුරුදු 100 ගණනක් පැරණි නුග ගස කපා ඉවත් කළේ කෙසේද?

සියල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ නොහැකි බව අප පිළිගත යුතුය.නමුත් මෙම ස්ථානයේ සුරැකීම ගම් වාසීන්ගේ වගකීම වේ.නීතියට අනුව මෙය විනාශ කරන්නන්ට දැඩි දඩුවම් ලැබිය යුතුය.

එසේම ,පුරාවිද්‍යා රක්ෂිතය ලෙස මෙම පර්චස් 27 ගැසට් කර තිබියදී මෙම ස්ථානයේ මෙම නිවස ඉදිකිරීම සදහා බලධාරින් අවසර දුන්නේ කෙසේද?

එසේම එසේ අණ දී නොමැතිව තිබියදී මෙම ස්ථානය විනාශ කරන තෙක් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් කුමක් කරන්නේද ?

බලධාරිනි, වගකිව යුත්තන්ගේ අවධානය පිණිස සහා වහාම ක්‍රියාත්මක වීම සදහා ඔබේ අවධානයට මෙය පළ කරන ලදි.

Exit mobile version