නාවික හමුදාවට එරෙහිව පැමිණි විරෝධතාකරුවන්ට නාවික හමුදාවෙන් නොසිතූ සංග්‍රහයක්.

ඉඩම් මැනීමක් නවතන ලෙස ඉල්ලා යාපනයේ මණ්ඩතීව් නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත දෙමළ දේශපාලඥයින් හා තවත් දෙමළ වැසියන් පිරිසකට ඊයේ (12) නාවික හමුදා නිලධාරීන් විසින් බිස්කට් හා සිසිල් පැන් සංග්‍රහ කොට තිබේ.

ස්වල්ප වේලාවකින් පසුව එම විරෝධතාකරුවෝ එම ස්ථානයෙන් නැගිට ගොස් ඇති අතර විරෝධයට එක් වූ පිරිස අතර දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ද දෙමළ ජාතික ජනතා පෙරමුණේ සෙල්වතුරෙයි ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා ද උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.සිවචානම් ද තවත් සංවිධාන කීපයක නියෝජිතයින්ද සිට තිබේ.

යාපනයේ වේලුසුමන නාවික හමුදා කඳවුර පුළුල් කිරීම සඳහා මහජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් ලබා ගැනීමට යන බවත් එම ඉඩම් මැනීම සඳහා මිනින්දෝරු නිලධාරීන් පැමිණෙන බවටත් තොරතුරු ලැබීම නිසා මේ පිරිස ඊට එරෙහිවීම සඳහා මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

අධික හිරු රශ්මිය මැද මෙම විරෝධතාවය දියත් කොට තිබුණද මිනින්දෝරු නිලධාරීන් එහි නොපැමිණීම නිසා විරෝධතාකරුවෝ දැඩි වෙහෙසට පත්ව සිටියහ.

මේ නිසා නාවික හමුදාවෙන් බිස්කට් හා සිසිල් පැන් සංග්‍රහය ලැබී තිබේ. එම සංග්‍රහය භුක්ති විදීමෙන් පසුව විරෝධතාකරුවන් නාවික හමුදා භූමි ප්‍රදේශයෙන් නැගිට ඉතා සුහදශීලීව ආපසු ගොස් තිබේ.

( ලංකා සර )

Exit mobile version