මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ යුද්ධ හමුදාව විසින් සිදු කළ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු සැප්තැම්බර් 01 වැනිදා සිට යළි දෙපාර්තමේන්තුව වෙත පවරා ගන්නා බව එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය විශේෂ ආරක්ෂක පද්ධතියක් යටතේ 2021 ජනවාරි 01 වැනිදා යුද්ධ හමුදාව විසින් භාරගත් බවද ඔහු සදහන් කරයි.
රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතුවලට අදාලව යුද්ධ හමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු මෙන්ම එයට අදාල සියළු මිලදී ගැනීම්, නඩත්තු සහ සේවා ගිවිසුම් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකළ යුතු ය.
එවකට ඉතිරිව පැවති සීමිත කාඩ්පත් ප්‍රමාණය උපරිම ලෙස කළමනාකරණය කර ගනිමින් ,යුද්ධ හමුදාව වෙතින් 2021 සහ 2022 වසර තුල රියදුරු බලපත්‍ර සහ තාවකාලික රියදුරු බලපත්‍ර 750,000ක ප්‍රමාණයක් මුද්‍රණය කර මහජනතාව වෙත නිකුත් කර තිබේ.
ඒ අනුව මුද්‍රණ කටයුතු භාරගැනීමෙන් පසු 2021 සහ 2022 වසර තුල යුද්ධ හමුදාව විසින් රුපියල් මිලියන 520ක පමණ මුදලක් රජයට ලබා දී තිබේ.
දැනට මුද්‍රණ කටයුතු කරගෙන යනු ලබන මුද්‍රණ යන්ත්‍ර 4න් 3ක්ම අබලන් තත්ත්වයේ පවති.
එබැවින් මුද්‍රණය කිරීමට ඉතිරිව ඇති ලක්ෂ 9කට ආසන්න රියදුරු බලපත්‍ර මුද්‍රණය සදහා 2022 වසරේ ජනවාරි සිට ඊට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර ලබාදෙන ලෙස යුද්ධ හමුදාව මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් සිදුකර තිබේ.
ඒ අනුව මුද්‍රණ යන්ත්‍ර 6ක් මිලදී ගැනීම සදහා අවශ්‍ය මුදල් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් මුලදී වෙන්කර දී තිබේ .
නමුත් එයට අදාල සියළු ප්‍රසම්පාදන කටයුතු යුද්ධ හමුදාව වෙතින් නිවැරදිව ඉටු කර එම යන්ත්‍ර මිලදී ගැනීමට ආසන්නව තිබියදී ,රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමේ ප්‍රධාන අරමුණින් වෙන්කර දී තිබූ මුදල් අත්හිටුවන ලදි.
එම මුද්‍රණ යන්ත්‍ර 6ක් මිලදී ගන්තේ නම් ,මිලදී ගෙන මාස 4ක් ඇතුලත ඉතිරිව තිබූ සියළු රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට යුද්ධ හමුදාව සැලසුම් කර තිබූ බව සදහන්.
දැනට ඉතිරිව පවතින ලක්ෂ 9ට ආසන්න රියදුරු බලපත්‍ර ප්‍රමාණය මුද්‍රණය සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම සදහා පමණක් රු.150.00ක පමණ මුදලකට තුන්වන පාර්ශවයකට ලබාදීමට කටයුතු කරගෙන යනු ලබන අතර,ඉහත මුද්‍රණ යන්ත්‍ර මිලදී ගත්තේ නම්,එක් බලපත්‍රයක් මුද්‍රණයට වැය වනුයේ ඉන් 3න් එකකටත් වඩා අඩු මුදලකි .
එමෙන්ම එමගින් අවම වශයෙන් රු.මිලියන 90කට වැඩි මුදලක් දූෂිතයන් අතට පත්වනවා මෙන්ම ඉදිරියේදී ලක්ෂ 48ක පමණ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට ඇති හැකියාවද ඇනහිටිනු ඇත.මෙම කූඨ ගණුදෙනුව නිසා රජයට සිදුවන මූල්‍යමය අවාසිය අති මහත් ය.
දැනට ඉතා කාර්යක්ෂමව සහ නිවැරදි ප්‍රසම්පාදන පිළිවෙත් අනුගමනය කරමින් මහත් උනන්දුවෙන් මෙම කටයුතුවල නියැලී සිටින යුද්ධ හමුදාව මෙම කාර්යයෙන් ඉවත් කොට,සියළු මිලදී ගැනීම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පවරාගෙන අති විශාල මුදලක්ද වැය කර මුද්‍රණය කිරීමට ඉතිරිව ඇති රියදුරු බලපත්‍ර ප්‍රමාණයද තුන්වන පාර්ශවයකට ලබාදීම සිදුකරන්නේ සත්‍ය වශයෙන් ම මෙම ගැටළුව විසදීමේ අරමුණින්ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් පවතී.
ඉහත සදහන් කරුණ අධ්‍යනය කිරීමේදී මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ යුද්ධ හමුදාවට මෙම රාජකාරිය භාරදුන් පසු මෙමගින් අනියම් ලෙස මුදල් ඉපයූ දූෂිතයන්ට එම මාර්ග අවහිරවීම බව ඉතා පැහැදිලි ය.
මෙසේ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු තුන්වන පාර්ශවයකට භාරදී යුද්ධ හමුදාව ඉන් ඉවත් කර නැවතත් දූෂිතයන්ට අතිවිශාල මුදලක් උපයා ගැනීමට මංපෙත් විවර කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව මනාව ඔප්පු වේ.
මෙයට සුදුසු,ප්රතිඵලදායී හා බුද්ධිගෝචර විසදුම වන්නේ මිලදී ගැනීමට නියමිත ලක්ෂ 9ක පමණ ප්‍රමාණය යුද්ධ හමුදාව වැනි මහජනතාවට ඉතා කාර්යක්ෂම සහ සාධාරණ සේවාවක් සපයනු ලබන ආයතනයක් විසින් මුද්‍රණය කර සුපුරුදු පරිදි විධිමත්ව මෙම සේවාව පවත්වාගෙන යාම මිස දූෂිතයන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා කූඨ ලෙස කටයුතු කරන වෙනත් පාර්ශවයකට භාරදීම නොවේ.