Asaian TownsCape Awards සම්මානය කුරුණෑගල වැව රවුම තේරිලා

ඊයේ (06 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අතරතුරදී වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවේ කුරුණෑගල වැව රවුමේ සුන්දරත්වයට UN-Habitat ආයතනය සහ Asian Habitat Society මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Asaian TownsCape Awards සම්මාන උළෙලේදි සම්මානයක් හිමිවී ඇති බවයි.

වාර්තා වන ආකාරයට ආසියා කලාපයේ ජනතාවට සුවපහසු ජීවන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති නගර කලාප, ව්‍යාපෘති සඳහා වාර්ෂිකව මෙම සම්මාන පිරිනමන අතර මෙවර එම සම්මානය සඳහා කුරුණෑගල වැව රවුම තේරීපත්ව ඇති බවත් එම සම්මානය ලබාගැනීම සඳහා එළැඹෙන 17 වැනි දින භූතානය වෙත නිලධාරීන් පිරිසක් පිටත්වීමට නියමිත බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ.

මෙම වැව රවුම ආශ්‍රිත ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 217ක් වැයකර අදියර හතරක් ඔස්සේ සංවර්ධනයට ලක්කර ඇති අතර මේ වන විටත් මෙහි ළමා උද්‍යාන, අවන්හල් මෙන්ම ව්‍යායාම සඳහා වෙන්වූ ස්ථාන පැවතියද තවමත් මෙම ප්‍රදේශය යම් සීමිත පිරිසක් විසින් පමණක් භාවිත කරන බැවින් ඉදිරියේදී වැව රවුම ආශ්‍රිතව වාර්ෂික දින දර්ශනයක් සකස් කර වසර පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පවසා තිබේ.

Exit mobile version