සතුන් මරා මස් බුදින ඇතැම් NGO නඩ ඇසල පෙරහැරේ දම්වැල් දමා ගෙන යන අලිඇතුන් ගැන කතා කරන්නේ අපේ සංස්කෘතික උරුමයන් විනාශ කරන්නයි මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ !!
- දෙසීයක හිලෑ අලිඇතුන් සංචිතයක් හැදුණොත් පෙරහැර අලි ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙනවා !
- අලි ඇතුන් භාර දිය යුත්තේ එම සතුන් හොදින් රැක බලා ගත හැකි වෙහෙර විහාරස්ථාන වලට හා දේවාල වලටයි!
ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර වී ඇති කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සදහා අවම වශයෙන් හීලෑ අලි ඇතුන් 75ක පමණ ප්‍රමාණයක් පෙරහැරට එක්කර යුතු අතර ඒ වෙනුවෙන් 200ක පමණ හීලෑ අලිඇතුන් සංචිතයක් පවත්වා ගෙන යෑමෙන් පෙරහැරේ අලි ගැටලුවට සාර්ථක විසදුමක් ලබාදිය හැකි බව මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා පවසයි.
ශ්‍රී දළදා මාළිගාව ප්‍රමුඛ සතර මහා දේවාල හා රටපුරා පිහිටි පෞරාණික විහාරස්ථාන , දේවාල වලට අලි ඇතුන් ලබා දී එවැනි සංචිතයක් පවත්වාගෙන යන්නේ නම් විලංගු දම්වැල් නොදමා එම සතුන්ට කිසිදු හානියක් සිදු නොකර පෙරහැර කාටයුතු වලට සහභාගී කරවීමට හැකි බවද ඒ මහතා පවසයි.
කන්ද උඩරට ඇසළ මංගල්‍යයත් සමගම සුපුරුදු පරිදි මතුවන හීලෑ අලි ඇතුන් හිඟය පිළිබඳව මාධ්‍යවේදීන් බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහේන්ද්‍ර රත්වත්තේ මහතා පැවසූයේ දළදා මාළිගාව ,මහනුවර සතර මහා දේවාලවලට මෙන්ම මහ සමන් දේවාලය ,කතරගම දේවාලය ඇතුළු අලිඇතුන් හොදින් රැකබලා ගැනීමේ හැකියාව ඇති පෞරාණික විහාරස්ථාන වලට හා දේවාල වලට රජය මගින් අලිඇතුන් ලබාදීම තුලින් මෙම ගැටලුව පහසුවෙන් විසදිය හැකි බව තමන් මේ පිළිබඳව සිදු කළ අධ්‍යයනයකින් හඳුනා ගත් බවයි .
මෙමගින් රජයට විශාල මුදලක් රජයට ඉතිරිකර ගත හැකි බවද,එසේ ලබාදෙන අලි ඇතුන් සුපරික්ෂාකාරීව රැක බලාගත හැකි අතර එම කටයුතු අධීක්ෂණය සදහා වනජිවී දෙපාර්තමේන්තුවේ විශේෂ අධීක්ෂණ කණඩායමක් පත් කළයුතු බවද ඒ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ මහේන්ද්‍ර රත්වත්තේ මහතා පවසන්නේ මෙවරද ඇසළ පෙරහැර මංගල්‍යයේ දී අලිඇතුන් හිඟය මතුවන බවත් ගෙවුණු වසර තුළ ඇසල පෙරහැරේ ගමන් කළ අලි ඇතුන් තිදෙනෙකු මියයාම නිසා එම හිඟය දැනටමත් මතුවී ඇති බවයි. හීලෑ අලි ඇතුන් හිඟය තිබුණද ඇසල පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සදහා ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිලංග දෑල මහතා ඇතුළු ඇසල පෙරහැර භාරය දැනටමත් අවශ්‍ය විසදුම් ලබා දී තිබෙන බවද ඒ මහතා පවසයි.
“වසර 3 කට වරක් යෙදෙන නැකත් අනුව කතරගම ශ්‍රී මහා දේවාලයේ , දෙවුන්දර විශ්ණු මහා දේවාලයේ හා ඇසළ පෙරහැර යන වැදගත් පෙරහැර තුනක් එකවර යෙදෙනව. එවැනි වසරකදී මෙම අලි ඇතුන් හිඟය උග්‍ර ලෙස දැනෙන අතර ඊට සුදුසුම විසඳුම අලි ඇතුන් සංචිතයක් පවත්වාගෙන යෑමයි. ශ්‍රී දළදා මාළිගාවට අලි ඇතුන් 30ක් ද මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයට අලිඇතුන් 15 ක් ද බැගින්ද නාථ ,කතරගම හා පත්තිනි දේවාල වලට අලි ඇතුන් 10 බැගින් අලි ඇතුන් අවශ්‍ය වන බවත් අලංකාර ලෙස හා ගාම්භීර ලෙස ඇසල මංගල්‍යය පෙරහැර පැවැත්වීමට අවම වශයෙන් අලිඇතුන් 75ක් පමණ සහභාගීකරවීමට සිදුවනවා. පින්නවල සිටින අලිඇතුන් පෙරහැර මංගල්‍යය වල ගමන් කරවීම සදහා පුහුණු කිරීමට හැකි බව මා පුද්ගලිකව දන්නා දෙයක්. මීට වසර 5කට පෙර මහනුවර විෂ්ණුමහා දේවාලය හා පින්නවල ඇත් සුරැකුම් මධ්‍යස්ථානය එක්වී අලි හතර දෙනෙකු පෙරහැරට පුහුණු කළා. සෑම වසරකම එහි අලි ඇතුන් තිදෙනෙකු පෙරහැරට සහභාගී කරවනවා. එම ප්‍රමාණය 10 දක්වා වැඩි කර පුහුණු කරන්නේ නම් එය මෙම කටයුත්තේදී විශාල පහසුවක් වනවා.”යැයිද මහේන්ද්‍ර රත්වත්තේ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසීය .
අලි ඇතුන් පෙරහැර මංගල්‍යයට සහභාගී කරවීමේදී සත්ව හිංසනයන් සිදු වන බවට ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කරන චෝදනා සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් මහේන්ද්‍ර රත්වත්තේ මහතාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු දුන් ඒ මහතා මෙසේ පැවැසීය .
“අපේ බුදුදහමයි සංස්කෘතියයි සියවස් ගණනාවක් පුරා අලි ඇතුන් සමඟ බැදී තිබෙනවා.බෝධි සත්ව උපතේ සිට බුද්ධත්වය දක්වා ලියවුණු බෝධිසත්ව සංකල්පය මුල සිටිම අලියා සමඟ බැඳී තිබෙන බව කවුරුත් දන්නා දෙයක් .අපි පමණක් නොව ආසියානු සමාජයේ බහුතරයක් අලි ඇතුන්ට දේවත්වයෙන් සළකනවා . ඇතැම් අවස්ථාවලදි අලිඇතුන්ට සුළු සුළු හිරිහැර වුවද බොහෝ අලි ඇතුන් භාරකරුවන් එම සතුන් තම දරුවෙකු සේම රැකබලාගන්නා බව මම හොදින්ම දන්නවා. සත්ව හිංසනය ගැන කිඹුල් කදුළු හෙලන ඇතැම් රාජ්‍ය නොවන සංවිධානය මේ කරුණු කිසිවක් අධ්‍යනය නොකර මේ ගැන වැරදි මතයක් සමාජ ගත කිරීම අපේ වටිනා සංස්කෘතිය විනාශ කිරීමට ගන්නා උත්සාහයක් බවයි මගේ හැඟීම.
සත්ව හිංසනයට විරුද්ධ සැබෑ පිරිසක් ශ්‍රීලංකාවේ මෙන්ම ලෝකයේ සෑම රටකම සිටිනවා. මස් මාළු නොකන කිසිම සතෙකුට කිසිදු හිංසාවක් සිදු නොකරන ඒ පිරිස සෑබෑ සත්ත්ව හිතවාදීන්. මමත් ඔවුන්ට ගරු කරනවා . පසුගිය දා ලංකාවේ ඇතිවූ අරගලයේ සිදු වූ අයුරින් සත්ව හිංසන ගැන කතා කරන NGO මේ කරණයේදී සිදු කරමින් සිටින්නේ සැබෑ ලෙස සතුන්ට දයාව දක්වන පිරිස පසෙකට දමා අපේ සංස්කෘතික විනාශ කිරීමේ පටු අරමුණු වලින් කටයුතු කරන NGO නඩ වල වැරදි මත සමාජ ගත කිරීමයි.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වල කුකුළ් මස් කන අය මස් පිඟානක රස බලමින් සත්ව හිංසන ගැන කතා කරනවා. මේ අයට කුකුළන් හරක්, මාලු, මරණ එක ප්‍රශ්නයක් නෙමේ. අශ්වයන්ට ලාඩම් ගසා ඔවුන්ව හමුදා වලට යොදාගෙන එංගලන්තෙ රජ පවුලට සේවය කිරිමට යොදා ගැනීම ඔවුන් හෙළා දකින්නෑ නැහැ ,මේ පිරිස අරාබීයේ ඔටුවන්ට කරන හානිය, ස්පාඤ්ඤයේ කුළු හරකුන්ට කරන හානිය කිසිදු ලෙස හෙළා දකිනවා මා දැක නැහැ . ඔවුන්ට ලොකුම ගැටළුව වෙලා තියෙන්නෙ අපේ රටේ අලියෙකුට දම්වැලක් දාගෙන යන එකයි. අපේ සංස්කෘතික උරුමයක් වන මේ අලිඇතුන් පෙරහැරේ ගෙන යාම මොවුන්ට ගැටළුවක් වී ඇත්තේ අපේ සංස්කෘතිය විනාශ කිරීමට බව මේවන විට හෙළිදරව් වී තියෙනවා”.
සරත් සමරනායක.