පුරාවිද්‍යා ස්මාරක වලට හානි කර නැහැ – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව !
මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරිමේ දී පුරාවිද්‍යා ස්මාරක කිසිවකටත් හානි සිදුව නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය සහකාර අධ්යක්ෂ ඩී.එම්.බී.ජේ.ඩී. දිසානායක මහතා පවසයි.
බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමේදී පුරාවිද්‍යා ස්මාරක හා වස්තූන්ට හානි සිදුව ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් පළවූ වාර්තා සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු.ගමගේ මහතා පසුගිය දා (20) පැවැති දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමේදී මේ බව ප්‍රකාශ විය.
බෝගම්බර බන්ධනාගාරය පල්ලකැලේ ස්ථාපිත කිරිමෙන් අනතුරුව වර්ෂ 2014 සිට පැරණි බන්ධනාගාරයේ විවිධ සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් තිබේ. නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත මෙම ඉදිකිරීම් සිදුකරන අතර එහිදී සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුව බව සහකාර අධ්යක්ෂ ඩී.එම්.බී.ජේ.ඩී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඇහැලේපොළ කුමාරිහාමිගේ ස්මාරකය හා සරදියෙල් කුටියට හානි වී ඇතැයි මාධ්‍ය මගින් පළ වී ඇති නමුත් එවැනි කිසිදු හානියක් තමන් සිදු නොකළ බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළේය.
බෝගම්බර බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය හා එහි සංස්කෘතිත මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා නායක හිමියන් දැනුවත් කොට ඇති බවත් ඒ අනුව ඉදිරියේදී එහි සංවර්ධන කටයුතු ආරම්භ කරන බව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා එහිදී පැවසීය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.