බලහත්කාරයෙන් හෝ බස් ගාස්තු ඉහළ දානවා.

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය විසින් ප්‍රවාහන බලධාරීන් වෙත ඉදිරිපත් කරන කොන්දේසි සඳහා එකඟ නොවන්නේ නම් ඉන්ධන මිල ඉහළ යාම හමුවේ තවත් සති දෙකක කාල සීමාවකින් බස් ගාස්තුව සියයට දහයකින් ඉහළ දමන බවට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසූ බව වාර්තා වේ.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (01 වැනිදා) පැවති මාධ්‍ය හමුවක් අතරතුරදීය.

දිනෙන් දින පෞද්ගලික බස් කර්මාන්තය අභාවයට යමින් ඇති නමුත් මේ වන තෙක් ප්‍රවාහන බලධාරීන් තම කර්මාන්තය වෙනුවෙන් කිසිඳු පියවරක් නොගත් බැවින් මේ මොහොතේ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවත් එවැනි ගාස්තු සංශෝධනයක් සිදුකළ හොත් අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති බවට හෙතෙම අවධාරණය කළේය.

මීට පෙර ඉන්ධන මිල සංශෝධනය කළ අවස්ථාවේදී ද බස් ගාස්තු වැඩිවීමක් සිදුනොකර පාඩු ලබමින් කර්මාන්තය පවත්වාගෙන ගිය නමුත් තවදුරටත් ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටිමින් කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බව පැවසූ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෞද්ගලික බස් රථ හිමියන් විසින් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත කර්මාන්තය සුරක්ෂිත කර ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා කඩිනම් විසඳුම් ලබානොදෙන්නේ නම් බලහත්කාරයෙන් හෝ ගාස්තු සංශෝධනයකට යාමට සිදුවන බවයි.

Exit mobile version