යුද්ධ හමුදා කාන්තා බිම් බෝම්බ ඉවත් කිරීමේ පළමු කණ්ඩායමට යුද්ධ හමුදාධිපතිතුමන් නිල ලාංඡන පළඳවයි

ජාත්‍යන්තරව පිළිගත් ‘මානුෂීය බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ පාඨමාලා අංක – 01’ සාර්ථකව අවසන් කළ යුද්ධ හමුදා කාන්තා බලකායේ මානුෂීය බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ කණ්ඩායමේ සාමාජිකාවන් ඉකුත් බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත කැඳවා ඔවුන් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් නිල ලාංඡනය පැළඳවූයේය.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා සහභාගීවීමට අවශ්‍ය සියලු සුදුසුකම් සම්පූර්ණ කර සිටින කාන්තා සෙබලියන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය සුභපැතුම් එක්කළ අතර ලෝක සාමයට සහ මාතෘභූමියේ අභිමානය ඉහළ නැංවීම වෙනුවෙන් ඔවුන් ලබාදෙන දායකත්වය සහ එහි වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.

2021 දෙසැම්බර් මාසයේදී බූඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී සහ යාපනය, මයිලඩි ප්‍රදේශයේ පිහිටි 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේදී පැවති මානුෂීය බිම්වෙඩි කෙත් නිසැක කිරීමේ පාඨමාලාව සාර්ථකව හැදෑරූ කාන්තා නිලධාරිනියන් තිදෙනෙකු සහ කාන්තා සෙබලියන් 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව නිල ලාංඡන පලඳවනු ලැබීය.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ අධීක්‍ෂණය මත අවසන් අදියර සඳහා පෙනී සිටීමෙන් පසු මෙම කණ්ඩායම ක්‍ෂේත්‍ර මෙහෙයුම් ඇතුළත්ව පවත්වනු ලැබු බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාවේ අවසන් අදියර සඳහා මේ වසර ආරම්භයේදී සහභාගී වූහ.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාත්තියෙන් පසු නිල ලාංඡන පැලඳීමේ උත්සවය ආරම්භ කරනු ලැබීය. අනතුරුව, මානුෂීය බිම් වෙඩි කෙත් නිසැක කිරීමේ යුද්ධ හමුදා කාර්යභාරය, පුහුණු සැසි, ප්‍රතිසාධන සහ දැනට ක්‍රියාත්මක බිම් වෙඩිකෙත් නිසැක කිරීමේ ව්‍යාපෘති අළලා සකස්කරනු ලැබු කෙටි වීඩියෝ පටය ප්‍රදර්ශනය කරන ලදී.

පාඨමාලාව හැදෑරු කාන්තා සෙබළියන් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ආරක්‍ෂක සේනා ආඥාපති – මුලතිව් සහ ශ්‍රී ලංකා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් සංකේතාත්මකව නිල ලාංඡන පළඳවනු ලැබූහ.

මෙම අවස්ථාවේදී මයිලඩි ප්‍රදේශයේදී පැවැති බිම් බෝම්බ ඉවත්කිරීමේ පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ කාන්තා සෙබළියන් මෙම පුහුණු පාඨමාලාව තුළින් තමන් ලැබු අත්දැකීම් සහ පන්නරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විස්තර කළහ. තවද, අධිෂ්ඨානශීලීව සහ නිර්භයව මෙවැනි අවදානම් සහිත පාඨමාලාවකට සහභාගීවීමට ඇති වූ අධිෂ්ඨානය ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාවට ලක්විය.

Exit mobile version