“අධිකරණ වලට හිතුමතේ තීන්දු දෙන්න බෑ” කතානායකගෙන් මහජනතාවටත් පාඩමක්.

පාර්ලිමේන්තුව දැනට සම්මත කර ඇති කිසිදු යෝජනාවකට එරෙහිව ඕනෑ ම ආකාරයක නියෝගයක් හෝ තීන්දුවක් නිකුත් කිරීමට කිසිදු අධිකරණයකට බලයක් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (අගෝ. 9) පැවසීය.

දේශීය ණය ප්‍රශස්තකරණයට අදාළව සංචාරක හා ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු පසුගිය දා මතු කළ වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් කතානායකවරයා මේ බව සඳහන් කළේ ය.

දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලද අතර ඉන් අනතුරුව එකී යෝජනාවේ අඩංගු විෂය කරුණු මූලික වශයෙන් රාජ්‍ය මූල්‍ය සම්බන්ධ කරුණක් වන බැවින් ස්වෛරී ණය තිරසරභාවය ඇති කිරීම සඳහා දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීමේ යෝජනාව පසුගිය ජූලි මස පළමු වන දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බව ත් ඊට මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු පක්ෂව ඡන්දය දුන් අතර හැට දෙදෙනෙකු විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව ත් ය.

ස්වෛරී ණය තිරසරභාවය යථාතත්ත්වයට පත් කිරීම සඳහා දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබ ඇති බැවින් එම යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද වෙනත් ඕනෑ ම අධිකරණයක අධිකරණ බලයෙන් ඔබ්බට ප්‍රශ්න කිරීමට හෝ සමාලෝචන කිරීමට හෝ අභියෝග කිරීමට හෝ නොහැකි බව ද කතානායකවරයා කීය.

පාර්ලිමේන්තු කටයුතු ප්‍රශ්න කිරීමට හෝ ඊට මැදිහත් වීමට අධිකරණයට නොහැකි බව ත් කතානායකවරයාට තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව ත් කතානායක අනුර බණ්ඩාරනායක මහතා දෙදහස් එක වසරේ ජූනි විසි වන දා පැහැදිලිව ප්‍රකාශ කළ බව කතානායකවරයා සිහිපත් කළේ ය.

ස්ථාවර නියෝග හැත්තෑ අට යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයකට බැඳීමක් නොවන අතර එයට අනුකූල වීමට නීතිමය බැඳීමක් ඒ අනුව පාර්ලිමේන්තුවට නොමැති බව ඔහු පැවැසීය.

ඔහු මෙසේ ද පැවසීය.

“මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැට හත්වන ව්‍යවස්ථාව සමග කියවා ඇති එක්දහස් නවසිය පනස් තුනේ අංක විසි එක දරන බලතල සහ වරප්‍රසාද පනතේ තුන්වැනි වගන්තිය ඉස්මතු කිරීමට මම කැමැත්තෙමි.

එබැවින් නියමිත පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුගමනය කර පාර්ලිමේන්තුව විසින් දැනටමත් සම්මත කරන ලද යෝජනාවකට එරෙහිව ඕනෑ ම ආකාරයක නියෝගයක් හෝ තීන්දුවක් නිකුත් කිරීමට කිසිදු අධිකරණයකට බලයක් නොමැති අතර එවැනි ඕනෑ ම නියෝගයක් හෝ අධිකරණ තීන්දුවක් එක්දහස් නවසිය පනස් තුනේ අංක විසි එක දරන බලතල සහ වරප්‍රසාද පනත උල්ලංඝණය කිරීමකි.”

(මව්බිමෙන් උපුටා ගන්නා ලදි)

Exit mobile version