ධීවර යාත්‍රාවකින් හෙරොයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 05 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (27) මරණ දඬුවම නියම කර තිබෙන බව වාර්තා වේ .
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී .
2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 152 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ .
එම මත්ද්‍රව්‍ය තොගය කිලෝ 25 බැඟින් වූ මලු 08 ක බහා ධීවර යාත්‍රාව තුළ මාළු සහ අයිස් තැන්පත් කරන කුටියේ සඟවා ප්‍රවාහනය කර ඇති බවට අනාවරණය වී තිබෙන අතර රත්මලාන ප්‍රදේශයට ආසන්න මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මෙම විත්තිකරුවන්ගේ ධීවර යාත්‍රාව ඔවුන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සිදු කෙරිණි.
අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නඩුව අධිකරණය හමුවේ ගොනුකර ලැබූ අතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.
දඬුවම් නියම කිරීමට මත්තෙන් යමක් ප්‍රකාශ කිරීමට තිබේදැයි විනිසුරුවරයා විත්විතිකරුවන්ගෙන් විමසා ඇති අතර ඒ අනුව එහිදී විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළ පළමුවන විත්තිකරු සඳහන් කර ඇත්තේ තමන්ට ඕනෑම දඬුවමක් ලබා දෙන ලෙසත් , සෙසු විත්තිකරුවන් හතර දෙනා නිදහස් කරන ලෙසත් ය.
සෙසු විත්තිකරුවන් හතර දෙනා විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කර ඇත්තේ තමන් අහිංසක ධීවරයින් බවත් , මෙම අපරාධය හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.
සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම මරණ දණ්ඩනය ප්‍රකාශයට පත් කරන ලදී .