කන්ද උඩ පස් රටේ උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානවත් නිලමේවරුන් විසින් තුන්වන ජෝර්ජ් මහ රජ්ජුරු මහ අස්ථාන බණ්ඩාර රාජෝත්තමයානන් වහන්සේට කන්නසාමි වඩුගයා අල්ලලා දෙන්ට කලියෙන් බංඩො කියාලා රජවාසලේ පරපුටුවො කොටහක් හිටියා. මේ බංඩො කියන්නෙ මධුරාපුරේ ඉදලා වැඩපු පන්ඩාරම් කපු උන්නාන්සෙලා නෙවෙයි. බංඩො කියන්නෙ කන්ද උඩ පස් රටට කලියෙන් තිබ්බ ගම්පොල රජ්ජෙ කාලේ කෝට්ටේ රාජ්ජෙ කාලෙ කන්ඩි නුවර රජ්ජුරුවො කාලෙ යකඩදෝලියොන්ට සුක කෙලියෙ යෙදිලා හැදිච්ච නිකමුන්ට.
මේ බංඩො අප උභයකුල පාරිශුද්ධ උතුම් රදල කුලයේ අභිමානවත් නිලමේවරුන් විහින් කිසිම ආකාරයට මායිං කොරපු කොටහක් නෙවෙයි මාලිගා බංඩො. බංඩා හරි බංඩාර හරි කියන නං කොටහා පාවා නියම කන්ද උඩ පස් රටේ උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානවත් නිලමේවරුන්ගේ නම් අගට යොදාගත්තෙ නෑ කොටින්ම බංඩා කියන්නෙ කොල්ලා කියන එකට හින්දා අප උභයකුල පාරිශුද්ධ උතුම් රදල කුලයේ අභිමානවත් නිලමේවරුන් බංඩා හරි බංඩාර කියන නං කොටහ මහා වසවිලිලැජ්ජාවක් කියල සලකව්වා කියාලා මයෙ කිත්තප්පගෙ පුස්කොල පොතේ තියෙනවා.
රජ්ජුරුවෝ අලියා පිටේ අස්සයා පිටේ හරි පයින් හරි රහසේ හරි ගම්මානෙකට වැඩියට පස්සෙං පහු ගම්මානෙ ඇහැට කනට පේන කිඩහැරියක් ඇහැ රුකුලට මුලිච්චි උනාම එගෙ කුලේ අකුලේ යවාලා පෙම් කෙලියට හිත යවාල මාලිගාවේ විතරක් නෙවෙයි ගම්මානවල තියෙන රජපිහිලි ගාව පවා රහසිගතව සුක කෙලියෙ යෙදුනම ඉපදෙන කොලු ගැටයො තමා බංඩො. මේ බංඩන්ට නම් දුන්නෙත් ගමේ නං කොටහ මුලට දාලා. මේ බංඩො නොහොත් කොල්ලො සමහර උන් රජ්ජුරුවෝ මාලිගාවට ගෙනල්ලා බාංඩාගාරෙ කුස්සිවලින් කන්ට දුන්නා. මෙව්වා දැකපු මහ තානාන්තර දරාපු උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානවත් නිලමේවරුන් බංඩො සලකව්වෙ පිනට කන නිකම්මු හැටියට.
අප උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානවත් නිලමේවරුන් ගම්මානවලදී පං පදුරු අස්සෙ සුක කෙලියෙ යෙදිල ඉපදුන අවසේස කුලවල කොලු ගැටවුන්ටත් බංඩා කියලම කියන්ට පහුකාලයේ පුරුදු උනා. රජ්ජුරුවෝ රජපිහිලි ගාව හදපු බංඩො නිලමේවරුන් පන් පදුරු අස්සෙ හදපු බංඩො කොයි බංඩත් පස්සෙන් පහු බංඩාර කියාලා නාමය ටිකක් බරපතළ කොර ගත්ත. ඉතින් මෙහෙම බංඩා නාම ගොඩාරියක් කන්ද උඩ පස් රටේ තියෙනවා. මේ සමහර බංඩො රජ උනේ බංඩා කියන්නෙ කොල්ලා කියන එක කියාපු මයෙ කිත්තප්පගෙ පුස්කොල පොතේ වාක්කිය හරියටම ඔප්පු කරන්ටයි කියාල නිලමේ ඔප්පු කොරනවා.
වීදියේ බංඩා – වීදියේ කොල්ලා
රයිගං බංඩා – රයිගමේ කොල්ලා
ටිකිරි බංඩා – හීං කොල්ලා
කොනප්පු බංඩා – කොස්කාපු කොල්ලා
ජයවීර බංඩා – ජයවීර කොල්ලා
පට්ටියේ බංඩා – ගාලෙ කොල්ලා
කරල්ලියද්දේ බංඩා – කරල්ලියද්දේ කොල්ලා
මාපා බංඩා – අධිකාරම් කොල්ලා
යාපා බංඩා – යාපනේ කොල්ලා
දෑලෙ බංඩා – මීගොං දෑලෙ හාපු පට්ටි කොල්ලා
මේ කොයි බංඩත් අඹුඩ කොටේ ගහගෙන කුඹුරු කෙටුවා ඇරෙන්ට කන්ද උඩ පස් රටේ කොරාපු වෙන කිසි රාජකාරියක් නෑ කියාලත් ඕකුන්ට උභයකුල පාරිශුද්ධ උතුම් රදල කුලයේ අභිමානවත් නිලමේවරුන්ට තිබ්බ තැන උතුම් වූ ඉංගිරිස් ආන්ඩු කාලෙට ඉස්සෙල්ල තිබ්බෙ නෑ කියාලත් මයෙ අත්තප්ප ඇස්සැයිස් කඩදහියක ලියලා තියෙනවා. ඔය ආකාරයට රාජ බාන්ඩාගාරෙනුයි උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානවත් නිලමේවරුන්ගේ වලව්වල කුස්සියෙනුයි පිනට සප්පායම් වෙච්චි සහ ජාතකයක් නැති කොලු කුරුට්ටන්ට බංඩා කිව්වට අප උභයකුල පාරිශුද්ධ උතුම් රදල කුලයේ අභිමානවත් නිලමේවරුන්ට නම් බංඩා නමක් කියන්නෙ ඇහුනත් හිනහ පහලවෙන මහ නවනිංගිරා නාමයක් කියාල මයෙ කිත්තප්පගෙ පුස්කොල පොතේ තියෙනවා.
කුඩා ආටිගල (උපහාසය සහ විනෝදාස්වාදය සදහා පමණි)