දේශබන්දුට ක්‍රිකට් ආයතනයෙනුත් වැටුපක් දීලා!. රහස් රකින්න ගිවිසුමක්!. “මම එහෙම කරල නෑ.” දේශබන්දු කියයි

ජේ.නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වසර දෙකක කාලයක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔහු 2021 වසරේ අගෝස්තු 16 වන දින සිට 2023 අගෝස්තු මස 15 දක්වා වසර දෙකක කාලයක් උපදේශක ආරක්ෂක සහ මාෂලින් උපදේශක ලෙස කටයුතු කර තිබේ.

එහිදි ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මාසික වේතනය ලෙස රුපියල් 150000ක මුදලක්, මසකට ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 200ක්, ජංගම දුරකථනයක් සහ ඒ සදහා මසකට 5000ක දීමනාවක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දි තිබේ.

ඒ අනුව ඔහුට පැවරී තිබූ රාජකාරි වන්නේ අදාළ කාලය තුළ උපදේශක ආරක්ෂාව සහ මාෂලින් උපදේශනය ය.

මෙහිදී සුවිශේෂීම කාරණය වන්නේ ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් රහසිගත තොරතුරු කිසිදු ආකාරයෙන් පිටත පාර්ශවයකට හෝ මාධ්‍ය වෙත ලබා නොදීමට එකගතාවයකට පත්ව තිබීමයි.

කෙසේ වෙතත් මෙම පුවත අසත්‍ය බව දේශබන්දු තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී. එම නිවේදනයද පහතින් දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් ලබාගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු පිළිබඳව යි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2021 අගෝස්තු 07 වනදා මා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදේශකවරයකු ලෙස 2021 අගෝස්තු 16 සිට 2023 අගෝස්තු 15 දක්වා ක්‍රියාත්මක වන පරිදි බදවා ගත්බවට ලිපියක් මා වෙත ලැබී තිබිණි.එවකට මහජන ආරක්ෂක ලේකම්වරයාව සිටි මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) ජගත් අල්විස් මහතා වෙත මා මෙම ලිපිය සම්බන්ධයෙන් දැනුවත් කරන ලදී.මෙහිදී මහජන ආරක්ෂක ලේකම් ජගත් අල්විස් මහතා විසින් මා හට එම තනතුර බාර නොගන්නා ලෙස දන්වා සිටින ලදී.එම නිසා මා එම තනතුර බාර නොගත් අතර එම තනතුර බාර නොගන්නා බවට දන්වමින් 2021.11.05 දාතමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලිපියක්ද යොමු කර ඇත(එම ලිපිය මේ සමග අමුණා ඇත).සමාජ මාධ්‍ය වල යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බවත් මා කිසිම දිනක ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය හෝ කිසිදු වරප්‍රසාදයක් ලබා නොගත් බවට සහතික කරමි.”

කෙසේ වෙතත් රහස් ආරක්ෂා කිරීමක් ලෙස තිබෙන බැවින් සත්‍ය අසත්‍ය කුමක්දැයි යන්න ප්‍රහේලිකාවක් ලෙසම පවතිනු ඇත. එසේම ඔහු මුදල් ලබාගෙන තිබෙන්නේ නම් ඉන් ඔහුගේ රැකියාවද අහිමිවනු ඇත.

Exit mobile version