ගුවන් හමුදා භටයින් 11ක් රඳවා තිබියදීත් දළදා මාළිගාවේ අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවලා.

දළදා මාළිගා පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා ගුවන් හමුදා භටයන් 11 දෙනෙක් රඳවා තිබියදීත් ශ්‍රී දළදා මාළිගා අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ බව කියන ඇමෙරිකානු ජාතිකයෙකු දළදා මළිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (07) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

දළදා මළිගා පරිශ්‍රය තුළ ඩ්‍රෝන කැමරා පියාසර කරවීමට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්‍යාලයෙන් අවසර නොදෙන තත්ත්වයක් තිබියදී එවන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත වුවහොත් ඒ සම්බන්ධව නිශ්චිත නීත්‍යානුකූල පියවරක් ගැනීමට මෙම ගුවන් හමුදා නිලධාරීන් වෙත බලය පවරා නැතැයි ද වාර්තා වේ.

ඩ්‍රෝන කැමරා නිරීක්ෂණය කිරීමේ රේඩාර් පද්ධතිය මිහිරිගම ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබෙන අතර දළදා මාළිගා පරිශ්‍රයට කවුරුන් හෝ ඩ්‍රෝන කැමරාවක් යොමු කරනු ලැබුවහොත් එය අක්‍රීය කිරීමට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පැමිණීමට අවශ්‍යය බව පරීක්ෂණ මඟින් හෙලිව ඇත.

දළදා මාළිගා පරිශ්‍රයට ඩ්‍රෝන කැමරා යැවූ පුද්ගලයින් පසුගිය කාලයේ දී අවස්ථා ගණනාවක දීම පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙවන් තත්ත්වයක් තුළ ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාව සඳහා ගැටලුකාරී තත්ත්වයක් ඇති බැවින් ඩ්‍රෝන කැමරා පියාසර කිරීම වැළැක්වීම සඳහා ඩ්‍රෝන ජෑමර් උපකරණයක් සවි කළ යුතු බව ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ.

මෙම උපකරණ විශේෂ අවස්ථාවලදී පමණක් දළදා මාළිගා පරිශ්‍රයේ සවිකරන බව ද දැනගන්නට තිබේ.

 ( ලංකා සර )

Exit mobile version