මේ වන විටත් වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ලවෙමින් මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ස්ථානමාරු නොකරන ලෙසත්, ඔහුට ගෞරවාන්විතව එම පාසලෙන් ඉවත්ව යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතා ප්‍රියශාන්ති ද සොයිසා මහත්මිය ඊයේ (26) රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදී ඉල්ලීමක් කර තිබේ.
මෙම විදුහල්පතිවරයාට මෙන්ම ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්යක්ෂකවරයාටද විවිධ චෝදනා එල්ලව තිබෙන අතර ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මාරුකර ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙස පසුගිය මාසයේ පැවති රත්නපුර දිස්ත්‍රික් කමිටුවේදී තීරණය කර තිබුණි.
ඊයේ පැවති කමිටුවේදී විදුහල්පතිවරයා පිළිබඳව ගැටලුව මතුකර තිබුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා විසිනි.
ඒ අනුව පැවති කතා බහේදී මන්ත්‍රීවරිය ඉල්ලා ඇත්තේ සානුකම්පිතව සලකා බලා මාස තුනකට දැනට පවතින ස්ථානමාරුව අවලංගු කර දෙන ලෙසයි.කෙසේ වෙතත් මෙම විදුහල්පතිවරයා වැරදි කර නැති බවට ඇය නොකියන බවද සදහන් කර තිබේ.
එහිදී, පොදුජන පෙරමුණේ ගුරුවරයෙකු විසින් ආණ්ඩුකාරවරයාගේ අම්මා මතක් කරමින් බනින හඩපටයක් ඇසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා කටයුතු කර තිබුණි.
එහිදී තවත් ප්‍රශ්න ගණනාවක් ඇසීමට ඔහු කටයුතු කර තිබුණත් දිස්ත්‍රික්කයේ අනෙක් කිසිදු මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කර තිබුණේ නැත. හඩ පටය පිළිබඳව අදහස් දක්වමින්, එක්සත් ජාතික පක්ෂයේ කොලොන්න ආසන සංවිධායක හසිත මුහන්දිරම් මහතා ප්‍රකාශ කර තිබුණේ එය වෙනත් රැස්වීමක ප්‍රකාශ කරන ලද එකක් ද විය හැකි බවත්, ඒ පිළිබඳව ආණ්ඩුකාරවරයා වැඩි අවධානයක් නොමැති බවයි.
ඒ අනුව විදුහල්පතිවරයාගේ ප්රශ්නය එතනින් අවසන්ව තිබෙන අතර, සබරගමුව පළාත් අධ්‍යාපන ලේඛම් චාමර බමුණු ආරච්චි මහතා ක්ෂණිකව ක්‍රියාත්මකව ඔහුගේ ස්ථාන මාරුව අවලංගු කර තිබේ. නමුත් එය ආණ්ඩුකාරවරයාට දැනුම් දි නැති බවද වාර්තා වේ.
මේ වන විට මෙම පාසල තුල පැවති ගැටළු වැඩිව තිබෙන අතර ආරවුල් ද දිගින් දිගටම වාර්තා වේ. ගැටළු ඇති කරන කණ්ඩායම්ද අප මීට පෙර ඉදිරිපත්කර තිබේ.
ඒ අනුව ඉදිරියේදී තව තවත් ගැටුම් ඇතිවෙමින් එකිනෙකා මරාගන්නා තත්ත්වයට පත්විය හැකි අතර ඒ සියල්ලම අප මීට පෙර ම වාර්තා කර තිබේ.
මේ වන විට පාසල තුල යම් කණ්ඩායමක් විසින් විගණනයක් සිදුකරමින් පවතී. එයටද බාධක තිබෙන බවට අපට තොරතුරු ලැබී තිබේ. මහජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඕනෑම චූදිතයෙකු වෙනුවෙන් පෙනී සිටීමට, එසේ ඉල්ලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට බලය තිබේ.
නමුත් සත්‍ය කාරණාව වටහා දීමේ වගකීම පවතින්නේ රාජ්‍ය නිලධාරීන්ටය. මෙහිදී නැති ගැටුම් ඇතිවීමේ පලය ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මුදිතාද සොයිසා මහත්මියට සහ වරද සාධාරනීකරණය කළ එක්සත් ජාතික පක්ෂයේ කොලොන්න ආසන සංවිධායක හසිත මුහන්දිරම් මහතාටය.
එසේම මෙම සිද්ධිය පිළිබඳව සැබෑ තත්ත්වය වටහා ගැනීමට හසිත මුහන්දිරම් මහතාට හැකිව තිබේ. නමුත් පසුව ඔහුද වෙනස් මතයකට පැමිණ තිබේ. පාර්ලිමේතු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ යන මහත්වරුන්ද මේ පිළිබඳව මනා වැටහීමකින් සිටින බවද අපට ලැබෙන තොරතුරුවලට අනුව පෙනී යයි.
නමුත් මුදිතා මහත්මියගේ කාරුණික ඉල්ලීම හමුවේ ඔවුන් නිහඩව තිබේ.
ඒ අනුව විදුහල්පතිවරයාට තිබූ ස්ථානමාරුව අවලංගු කර තිබෙන අතර වාර්ෂික ස්ථාන මාරුවේදී ඔහුව ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයේ විදුහල්පති ලෙස පත්කර හැරීමට පළාත් රාජ්‍ය බලධාරීන් පිඹුරු පත් සකසා තිබේ.