මාකදුරේ මදූෂ් වෙනුවෙන් පෙනී සිටි ඩී.වී.චානක හරක් කටාට එරෙහි වේ.

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා හරක් කටාට එරෙහිව විශේෂ ප්‍රකාශයක් කරන ලදී.ඒ “ කුඩුකාරයින්ට ඕනෑ විදියට පොලිස්පති පත් කරන නායකයෝ මේ රටේ නැත” යැයි ප්‍රකාශ කරමිනි.මෙසේ හරක් කටාට එරෙහිව මෙවන් ප්‍රකාශයක් සිදු කළද මීට පෙර ඩී.වී.චානක මහතා මාකදුරේ මදූෂ් වෙනුවෙන් පෙනී සිටින ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ,

“පළමුවෙන් ම රටක් විදිහට සතුටු වෙන්න ඕන දවසක්. හැබැයි අපි දැක්කේ නැහැ ඒක විපක්ෂය පැත්තෙන්, මූණු එල්ලා වැටිලා ඔවුන් ඉන්නේ. අපිට අවශ්‍ය වුණේ ආර්ථික අර්බුදය ජය ගන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෙක් තෝර ගන්න. ඒක අපි මීට මාස කිහිපයකට උඩදි කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ඒ ණය ලබා දෙන්න අනුමත වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ.

ඒ වගේ ම ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේ ම මහ බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු සියලු නිලධාරීන්ට අපි මේ මොහොතේ ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ වනවිට රුපියල ශක්තිමත් වීගෙන යනවා. ලංකාවට දැන් ඩොලර් ටික ගලාගෙන එනවා. මේවායේ ප්‍රතිඵල අපිට ඉදිරියේදී බලාගන්න පුළුවන්.

පසුගිය කාලයේ අරගල තිබුණා. මීට සහයෝගය දීපු කණ්ඩායම් සිටියා. නීතිඥ කණ්ඩායම් සිටියා. ඒ කාලේ අපි උණ්ඩියල් ක්‍රම දැක්කා. එක පැත්තකින් උණ්ඩියල් ඉස්සරහට යනවා. එක පැත්තකින් කුඩු ව්‍යාපාරයට උණ්ඩියල් මුදල් ටික යනවා අනික් පැත්තෙන් අරගලයට සහය දෙනවා. ඒක ගැන වෙන ම පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක ඇතුලේ සම්බන්ධතාවක් තියෙනවා ද කියලා.

මොකද අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ රටේ කුඩු ටික නතර වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දවස ගානේ අත්අඩංගුවට ගත්තා. මේක පටන් ගැනීමට සාපේක්ෂව තමයි අරගලය ඇතිවෙන්නේ. ලංකාවට කුඩු ගේනවා නම් ඒකට ගෙවන්නත් ඕනේ ඩොලර්. ගංජාවලට ගෙවන්න ඕනේත් ඩොලර්. හැබැයි බැංකු ක්‍රියාවලියෙන් ඔවුනට ඩොලර් ලබාගන්න බැහැ. ඒ ඩොලර් ගන්න ඔවුන් යන්න ඕනේ උණ්ඩියල් මාකට් එකට. එතකොට මේ උණ්ඩියල් මාකට් යන්න නම් අපේ පිටරට ඉන්න අයටත් මුදල් උණ්ඩියල් හරහා එන්න ඕනේ. මේ උණ්ඩියල් දියුණු කිරීම අරගලයේ ම කෑල්ලක්.

අන්තිමට ලංකාවේ ලොකු ම චෝදනාව ලබපු කුඩුකාරයන්ට අරගලය වෙනුවෙන් ම පෙනී සිටි නායකයා තමයි නීතියෙන් පෙනී සිටියේ. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා උණ්ඩියල් පස්සෙත්, එසේ ම සංචාරක කර්මාන්තයෙන් හමුවන ඩොලර් ටික නතර කළේ එක තැනකින් ද කියලා. මේක ලංකාවේ මේ වෙලාවේ සිදුවන ලොකු ම ජාවාරමක්. ඩොලර් බිලියන ගාණක් කුඩුවලට යනවා. අපේ සංචාරක ක්ෂේත්‍රයෙන් එන ඩොලර් ටික, විදෙස් ශ්‍රමිකයන්ගෙන් එන ඩොලර් ටික. ඉන් පෝෂණය වෙච්ච කුඩු නායකයන් වෙනුවෙන් පෙනී සිටින්නේ මේ අරගල වෙනුවෙන් පෙනී සිටි නායකයා. අද එතුමන්ලා ඇවිල්ලා කියන්නේ, පොලිස්පති පත් කරන්නේ කොහොමද කියලා. එක පැත්තකින් ගිහිල්ලා ලංකාවට කුඩු දෙන නායකයා වෙනුවෙන් උසාවියට යනවා. අනිත් පැත්තෙන් ඇවිදිල්ලා කියනවා පොලිස්පති පත් කරන්න කියලා.

දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි හරක්කටාට ඕන විදිහට ද ලංකාවේ පොලිස්පති පත්කරන්න ඕනේ කියලා. නැත්නම් එතුමාගේ පණිවුඩය ද මේ නීතිඥවරු හරහා මේ එළියට එන්නේ කියලා. ඒක නිසා අපිට පේනවා මේක එක කුමන්ත්‍රණයක්. මේ අරගලය කුමන්ත්‍රණයක්. ඒක ඇතුළේ තිබුණේ ලංකාවේ ඩොලර් ටික කුඩුවලට උණ්ඩියල් හරහා ලංකාවෙන් පිටවුණු එක. අපි විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන්, පොලිසිය භාර ඇමතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. අද ලංකාවට සංචාරකයෝ එනවා. ඩොලර් එනවා. හැබැයි මේ ඩොලර් නිසියාකාරයෙන් බැංකුවලට යාමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මෙය පුළුල් ලෙස විමර්ශනය කරන්න ඕනේ. මේ වෙනුවට වෙන ම පොලිසියක් පත්කරලා හරි මේ තත්ත්වය නැවැත්තුවේ නැත්නම් අපිට මේ ප්‍රශ්නය විසඳගන්න හම්බවෙන්නේ නැහැ.

මේ ප්‍රශ්නය විසඳගත්ත නම් අපිට ප්‍රශ්නයක් නැතිව තෙල් ටික ගෙන්න ගන්න පුළුවන්. අපිට ගල්අඟුරු ටික ගෙන්න ගන්න පුළුවන්. රටේ අර්බුදයක් නැතිව අපිට ඉස්සරහට යන්න හැකියාවක් ඇති වෙනවා. අපි විශ්වාස කරනවා තවදුරටත් මේ කුඩුකාරයන්ට ඕන විදිහට පොලිස්පතිව පත් කරන නායකයෝ මේ රටේ නැහැ කියලා අපි පැහැදිලිව කියන්න කැමැතියි. ඒ වගේ ම අපි ඉල්ලීමක් කරනවා මේ රට විනාශ කරන්න රාජ්‍ය නිලධාරීන්ගේ සහාය දෙන්න එපා. විපක්‍ෂයට සහාය දෙන්න එපා.”

Exit mobile version