මෙරට ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීමක් වසරේ දෙවන අර්ධයේ දී දැකගත හැකි බවත් , පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත් , ආනයන සීමා ඉදිරියේ දී තවදුරටත් ලිහිල් කිරීමට පියවර ගන්නා බවත් මහ බැංකු අධිපති , ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී. විදෙස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වූ මහ බැකු අධිපති ,
“මීට පෙර පැවැති තත්ත්වය හා වර්තමාන තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී දැන් කිසිඳු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක හිඟයක් නැහැ. ඒ වගේම ඉන්ධන හා ගෑස් මිල දැන් පහළ යමින් පවතිනවා. රජය දැන් ආනයන සීමා බොහෝමයක් නිදහස් කර තිබෙන අතර ඉදිරියේදී තවදුරටත් ආනයන සීමා නිදහස් කිරීමට කටයුතු කරනවා.”
“සියලුම දත්ත මඟින් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය නැවත ඇතිවී ඇති බවයි. ඒ වගේම රුපියල මේ වසරේ ගතවු කාලයේදී ශක්තිමත් වෙමින් පවතිනවා. ඒ වගේම ඔබට දැක ගත හැකියි කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉතා ධනාත්මක ලෙස පවතිනවා. ඒ නිසා පාරිභෝගිකයින්ගේ රුචිකත්වය ඉහළ යාමත් සමඟ ඉල්ලුමද දැන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැක ගත හැකි අතර එය ඉදිරියටම එලෙසම පවතිනු ඇති බවට අපි සිතනවා.”