දුප්පත්කම නිසා හෝ වෙනත් කාරණයක් මත සුළු වරදක් කරන පුද්ගලයින් බන්ධනාගාර ගතකිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීම වැනි දඬුවමක් ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සුළු වරදක් කරන පුද්ගලයින් සිරගත කරනවා වෙනුවට එම පුද්ගලයාගේ දෙමාපියන් හෝ ඥාතියකු සමඟ බැඳුම්කරයක් අත්සන් කර ඔවුන්ට භාරදීමේ හැකියාව පවතින බවයි.
සුළු වරදක් කරන ලද පුද්ගලයින් සිරගත කිරීම වෙනුවට විදෙස් රටවල මෙන් එම පුද්ගලයින්ගේ සිරුරට ‘චිප්’ එකක් සවිකර ඔවුන් යන එන ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බවත් , සුළු වරදක් කළ පුද්ගලයින්ද ඇතැම් මහෙස්ත්‍රාත්වරු විසින් බන්ධනාගාර ගත කරන බවත්, මහෙස්ත්‍රාත්වරුන්ට ඇපදීම සම්බන්ධයෙන් ඇත්තේ අභිමතයක් බවත්, මෙරට නීතිය අනුව ඇපදීම වුවත් පරීක්ෂණ කටයුතු අවසන් නොමැතිවීම ආදී හේතුමත ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව පවතින බවත් , සමහර තරුණයින්ට ඇප නියමවී බන්ධනාගාරයෙන් එළියට පැමිණෙන්නේ අපරාධකරුවන් ලෙස බැවින් ඇප නීතියේ යම් සංශෝධන කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .