ශ්‍රී ලංකාවේ කුළුබඩු සදහා චීනයෙන් ඉහළ ඉල්ලුමක්.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිලදී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙද නියෝජිත පිරිසක් මෙරට සංචාරයක නිරතව සිටින බව වාර්තා වේ.

චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක නියෝජිතයෝ ඊට එක්ව සිටි බව සදහන්.

50 දෙනෙකුගෙන් සමන්විත එම නියෝජිත පිරිස ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් සමග මෙරට නිෂ්පාදනය කෙරෙන කුළුබඩු සම්බන්ධව සාකච්ඡාවක නිරත වී තිබේ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති හා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලයේ සභාපතිනී කුමුදිනි ගුණසේන යන මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වී සිටි බව වාර්තා වේ.

එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් තිස්සේ කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලය විසින් නිෂ්පාදනය කෙරෙන කුළුබඩු මිල දී ගන්නා සමාගම් වේ. 

මෙම කටයුතු සඳහා වසර දෙකක් සපිරීම නිමිත්තෙන් අපේ රටේ කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා එම පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඊයේ (21) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමේ දී  අපේ රටේ කුළුබඩු සම්බන්ධව අදහස් පළ කළ එම පිරිස ශ්‍රී ලංකාවේ කුළුබඩු  ලෝකයේ උසස්ම කුළුබඩු ලෙස නම් කළ හැකි බවට සඳහන් කර තිබේ.

විශේෂයෙන් අපේ රටේ කුළුබඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහළ දැමීමට පියවර ගත යුතු බවත්, අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බවත් ඔවුහු කියා සිටියහ.
 

Exit mobile version