මහ කන්නයේ පොහොර අද සිට.

ඉදිරි මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර අද (09) සිට බෙදාහැරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරන බව වාර්තා වේ .

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් රජයට අයත් පොහොර සමාගම් වෙත මේ වන විට ඊට අදාළ උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව අද (09) සිට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් බෙදාහැරීමට නියමිතව තිබේ.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් රුපියල් 9,000ක මුදලකට අලෙවි කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම පොහොර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙතින් මිල දී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

මීට අමතරව ගොවීන්ගේ අභිමතය පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක මුදලක් බැගින් ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ .

කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ වී වගාවට මෙන්ම එළවළු ඇතුළු අනෙකුත් වගාවන් සඳහා ද යුරියා ඇතුළු අනෙකුත් පොහොර සැපයීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබා දී ඇති බවයි.

Exit mobile version