දරුවාගේ උප්පැන්න සහතිකය අතට ලැබෙන තුරු මා මේ රාජය්‍ය විශ්වාස නොකරමි -නුවන් බෝපගේ

දරුවාගේ උප්පැන්න සහතිකය පිලිබඳව ගොනුකළ නඩුව පිලිබඳ පලවූ පුවත්පත් වාර්තාකරණය සමග සුබපැතුම් එක්කල සහ ශ්‍රි ලාංකික ජාතියක් ගොඩනැගීමේ අපේක්ෂාව දල්වා ගත් සියලුම සහෝදර සහෝදරියන්ට ආචාරය පුද කරමි.

මේ අරගලයේ දී මට ඇති පෙර අද්දැකීම් අනුව දරුවාගේ උප්පැන්න සහතිකය අතට ලැබෙනතුරු මේ රාජ්‍යය මා විශ්වාස නොකරමි.

මාගේ වැඩිමහල් දරුවාගේ උප්පැන්න සහතිකය සම්බන්ධයෙන්ද මා පියාගේ ජාතිය ශ්‍රි ලාංකික ලෙස හෝ මනුෂ්‍ය සදහන් කර ඉල්ලුම්පත ඉදිරිපත් කරන ලදි.විශාල අරගලයකින් පසු සහකාර රෙජිස්ට්‍රාර්වරයා විසින් පියාගේ ජාතිය යන ස්ථානය හිස් තබා මා වෙත උප්පැන්නය ලබා දෙන ලදි.අවසානයේ මා හට දැන් ගන්නට ලැබුනේ එම රෙජිස්ටාර් වරයා වැඩ තහනම් කිරීමකට ලක්කල බවය.

කොමියුනිස්ට්වාදය සහ විශ්වාස කරන ජාත්‍යන්තර වාදියෙකු ලෙස දේශසීමා බෙදීම් ද මා ප්‍රතික්ෂේප කරන බැවින් ජාතිය හිස් තබා තිබීම මා හට ගැටලුවක් නොවූ වූ බැවින් මා එය අභියෝග නොකලෙමි.

නමුත් දෙවන දරුවා ‘යුක්තිකගේ’ උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමට යොමුකල අවස්ථාවේදී පියාගේ ජාතිය මනුෂ්‍ය හෝ ශ්‍රි ලාංකික ලෙස යෙදීම පමණක් නොව එම තීරුව හිස් තබා එවීම හෝ රෙජිස්ට්‍රාර්වරයා ප්‍රතික්ෂේප කරන ලදි.ඒ අනුව මා හට ඇති ප්‍රතිකර්මය වූයේ අධිකරණය ඉදිරියට යාම වේ.

නඩුවේදී රජය වෙනුවෙන් ගත් ස්ථාවරය වන්නේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව ලංකාවේ සිටිය හැකි ජාතීන් වන්නේ සිංහල,ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ,ලංකා මරක්කල,ඉන්දියානු මරක්කල,බර්ගර් යන ජාතීන් පමණක් වන බවත් ශ්‍රි ලාංකික ලෙස ජාතියක් නොමැති බවත්ය.

තාගෝර් බටහිර ලෝකයේ ජාතිකවාදය නැමති රචනයේ සදහන් කල පරිදි “ජාතිය යනු ඉන්දියානු සමාජය පමණක් නොව මුලු මනුෂ්‍ය වර්ගයා ඉදිරියේම ඇති මහා අනතුරකි” යන්න ඉහත මාර්ගෝපදේශය විසින් සනාථ කර ඇත.බහුතර සිංහල ජනතාවට ලංකා කෑල්ල අනවශ්‍ය උවද තමිල්, මුස්ලිම් ජනතාව ලංකා සහ ඉන්දියානු ලෙස බෙදා අනන්‍යතාවයන් ලබාදීම කොතරම් පසුගාමී අධම බෙදීමක් ද?

යටත්විජිත සමයේදී මිනිසුන් බෙදා වෙන්කර කිරීටයේ දේශපාලන බලය පවත්වාගෙන යාමේ උපක්‍රමය නිදහසින් පසුව වෙනස් නොකිරීමට හේතුව වූයේ බණ්ඩාරනායකලා,රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා ද සිය පන්තියේ දේශපාලන බලය පවත්වාගෙන යාමටද ජාතිවාදය,ජාතිකවාදය බරපතල තුරුම්පුවක් ලෙස භාවිතා කල බැවිනි.එයට උතුරේ ජාතිවාදී දේශපාලනයද සිය අනුමැතිය ලබාදෙන ලදි.බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් උත්තරාරෝපනය කරන ලද ධනවාදය තුළ ලංකාවේ සියලු ජන කොටස් ඒකාබද්ධ කරගනිමින් ධනේෂ්වර ජාතික රාජ්‍යය පූර්ණ වශයෙන් නිර්මාණය නොවිනි.

ඒ අනුව ලාංකීය ජාතිය නිර්මාණය නොවීම විසින් ජාතීන්ගේ විමුක්තියේ සහ නිදහස් සංවර්ධනයේ කොන්දේසි වල ගැටලුව එනම් ජාතික ගැටලුව නිර්මාණය කර ඇත.

අපේ පරම්පරාව අභිමුව ඇත්තේ හුදු මැතිවරණ වලින් ජයගැනීම වැනි සරල අභියෝගයක් නොවේ.ජාතිවාදය,ජාතිකවාදය,පුරුෂෝත්තමවාදය,නව ලිබරල්වාදය වැනි සකලවිධ සංස්කෘතික සහ ආර්ථික පසුගාමීකම් පරාජය කිරීමේ අභියෝගය අප ඉදිරියේ ඇත.එහිදී එක්ව මෙන්ම තනි තනිව අපට අරගල කිරීමට සිදුව ඇත.

ජාතික ගීයේ එක මවකගේ දරු කැල ලෙස සදහන් කර තිබියදී එකම අම්මාගේ දරුවන්ට විවිද ජාතීන් ලෙස බෙදී වෙන්වීමට බලකරන දේශපාලන අරමුණ අප පරාජය කල යුතු නැද්ද? උප්පැන්නයේ පියාගේ හෝ මවගේ ජාතිය ඉදිරියෙන් අවශ්‍ය ඕනෑම කෙනෙකුට ශ්‍රි ලාංකික ලෙස යෙදීමට ඇති අයිතිය ඇතකු පිට වඩම්මන රාජ්‍යයට උදුරා ගත හැකිද? ශ්‍රි ලාංකික ජාතිය නිර්මාණය කර ජාතික ගැටළුවට ස්ථිරසාර විසදුමක් අප නිර්මාණය කල යුතු නොවන්නේද? යන ගැටලු අනිවාර්යයෙන්ම අපේ පරම්පරාව තුල සංවාදයට ගත යුතුමය.

ඒ හරහා අපේ දරුවන්ගේ පරම්පරාවට කාලකණ්නි යුද්ධ,කෝලාහල උරුම කර නොදීමත් අප අද අත්විදින පාදඩ ජාතිවාදී දේශපාලන භාවිතාවන් සදහටම පරාජය කරවීමත් අපේ පරම්පරාව විසින් නිමා කල යුතු කර්තව්‍යයන් වේ.අනෙක් අතට සියලුම ජාතික ප්‍රජාවන් ප්‍රජාතන්ත්‍රික මධ්‍යගත භාවය තුල ස්වීකරණය කර ඒකාබද්ධ කොටගත් පූර්ණ ලාංකීය ජාතියක් නිර්මාණය කිරීමේ කාර්යභාරයද අප උරමත පැටවී ඇත.

අවසාන වශයෙන් මිනිසුන්ගේ ජාතිය රාජ්‍යය තීරණය කරන්නට සූදානම් වන්නේනම් හෝ ශ්‍රි ලාංකික ජාතියක් රාජ්‍යය විසින් පිලි නොගන්නේ නම් හෝ අධිකරණ ක්‍රියාමාර්ග වලට එහා ගිය මහපොළොව මත ගත හැකි සියලු ක්‍රියාමාර්ග එයට විරුද්ධව මානවවාදී ප්‍රගතිශිලි සියල්ලන් සමග එක්ව ගනිමි.

අනෙක් අතට යුද්ධය අවසානයේ සිය තමිල් නම් වෙනස් කරගැනීමට සහ පාස්කු ප්‍රහාරයෙන් පසු සිය මුස්ලිම් නම් වෙනස් කරගැනීමට ද නඩු පැවරීමට මා වෙත පැමිණි මිනිසුන්ගේ දෑස් විසින් මා හට ඇතිකල සහකම්පනය සියලු ජාතිවාදයන් ට එරෙහිවත්,ජාතික පීඩාවන්ට එරෙහිවත් එම ජාතීන්ගේ සම අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කිරීමටත් මිය යන තුරු මා පොලඹවනු ඇත.

බලාපොරොත්තු දල්වා සිටිමු ජයග්‍රහණය වෙනුවෙන් අවසාන තප්පරය දක්වා අරගල කරමු ✊👍❤️

(නීතිඥ නුවන් බෝපගේ ගේ මුහුණු පොතෙන් උපුටා ගෙන පළ කරන ලදි.)

Exit mobile version