අධික වියළි කාලගුණය සහ ඉඩෝරය හේතුවෙන් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපය තුල කිරි ගවයන් 50,000 කට ආසන්න ප්‍රමාණයකට තණකොළ නොමැති වීමෙන්, ගැටළු රැසකට මුහුණ පා සිටින බව වාර්තා වේ.
මාස අටකට ආසන්න කාලයක් පොළොන්නරුවට වැසි නොමැතිකම නිසා කිරි හරකුන් ආහාරට ගන්නා තෘණ වර්ග විනාශ වී ඇති බවත්, මේ හේතුවෙන් මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද, දිඹුලාගල, දම්මින්න, සිංහපුර, ඇල්ලේවැව, අසේලපුර, විජයබාපුර, ඇතුළු මහවැලි කොට්ඨාශවල කිරි ගොවීන් පන්දාහකට ආසන්න සංඛ්‍යාවක් අසීරුතාවයට පත්ව සිටින බවට මහවැලි නිලධාරීහු සඳහන් කරති.
වියළි කාළගුණික තත්ත්වය නිසා කිරි හරකුන්ට තණකොළ සොයා ගැනීමට නොහැකිවීමෙන් කිරි ලීටර් ප්‍රමාණයද සියයට 50 කට වැඩි ප්‍රමාණයක් අඩු වී ඇති බවට කිරි ගොවීහු පවසා තිබේ.