මහනුවර, තිලක් රත්නායක මාවතේ දැවැන්ත ගස් දෙකක් කඩාවැටීම හේතුවෙන් එම ස්ථානයේ ගාල් කර තිබූ රථ වාහන 08කට දැඩි අලාභ හානි සිදුව තිබේ.
අද (27) පෙරවරු 11ට පමණ එකිනෙකට යාබඳව පිහිටි බෝ ගසක් හා සපු ගසක් එසේ කඩා වැටී ඇති අතර පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගස්වල මුල් දිරා ගොස් ඇති බවට ප්රදේශවාසීහු පවසති.
ඒ හේතුවෙන් එම ස්ථානයේ නවතා තිබූ ලොරි, කාර්, වෑන්, ත්රිරෝද රථ ඇතුළු වාහන අටකට දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුරින් තුවාල ලද දෙදෙනෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බවට පොලීසිය පවසයි.
මහනුවර මූලස්ථාන පොලීසිය, නාගරික ගිනි නිවන ඒකකය, යුද හමුදාව හා නගර සභාව එක්ව කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු සිදුකළ අතර ඒ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු පැය කිහිපයක් අත්හිටුවා තිබිණි.