කිරිඇල්ල පොලිස් බල ප්‍රදේශයේ පොළපාර නම් පාරේ ප්‍රාථමික විද්‍යාලය අසල සිදු වන නීති විරෝධී පතලක් පිළිබඳව රත්නපුර රාජ්‍ය බලධාරින්ටත්, සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා හටත් විටින් විට පැමිණිලි ලැබී තිබෙන නමුත් කිරිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එය වැළැක්වීම සදහා කටයුතු නොගත් පුවතක් අපට වාර්තා වේ.
කිරිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයාද මෙම පතලේ කොටස්කරුවෙකු බවට එම ප්‍රදේශයේ ප්‍රචලිතව තිබූ වාතාවරණයකදී රත්නපුර කොට්ඨාස විශේෂ අපරාධ පරීක්ෂණ ඒකකය විසින් පසුගියදා එම පතල වටලා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව බලපත්රයක්ද තිබී ඇති මුත් එම බලපත්‍රය නීති විරෝධි බලපත්‍රයක් බවට රත්නපුර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් විශ්වාස කරයි. එයට හේතු වන්නේ එම පතල පිහිටා තිබෙන ස්ථානය අනුව කුමන ආකාරයකින් හෝ බලපත්‍රයක් නිකුත් කිරීමට නොහැකි වීමයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් විශ්වාස කරනුයේ මෙම බලපත්‍රය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මගින් පනවා ඇති සම්මත නීති රීතිවලට පටහැනිව බවයි.ඒ අනුව එම බලපත්‍රය පිළිබඳව වෙනමම පරීක්ෂණයක් පවත්වන බවත් සබරගමු පොලිස් ආරංචි මාර්ග මගින් අපහට වාර්තා වේ.
ඒ අනුව මෙම පතල වටලා ජබොස් 2ක් ,උදලු තල 2ක් ,ඉල්ලන් කූරු 2ක් ,කැට කූඩ දෙකක් සහ වයර් රෝල් 2ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
රත්නපුර දිස්ත්‍රික්කය පුරා පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අනුදැනුම මත මේ වන විටත් විශාල ලෙස නීතිවිරෝධී පතල් කැනීම් සිදු කරමින් පවතී.
කෙසේ නමුත් රැකියාවක් නොමැතිව දහසක් පීඩා මැද ජීවත්වන මිනිසුන් මේ ආකාරයෙන් පතල් කැනීම් සදහා යොමු වී තිබේ. එය නීතිවිරෝධී කටයුත්තක් වුවත් රට තුළ පවතින තත්ත්වය හමුවේ ජීවත්වීමට යම් ආදායම් මාර්ගයක් සකසා ගැනීම වෙනුවෙන් ඔවුන් එය සිදු කරනු ලබන අතර රට තුළ යහපත් වාතාවරණයක් තිබුණේ නම් ඔවුන් කිසිවිටෙකත් මෙවැනි ක්‍රියා සිදු නොකරයි.
කෙසේ නමුත් පොලිස් ස්ථානාධිපතිවරුන්ද බොහෝ පතල්වල කොටස්කරුවන් ලෙස පත්ව ඇති බවට අපට සාක්ෂි සහිතවම තොරතුරු අනාවරණය වී තිබේ.මහපොළව තුළ තිබෙන සම්පත් ලබා ගත්තාට ප්‍රශ්නයක් නැති නමුත් එයින් මහජනතාවට තවදුරටත් පීඩා ඇති වෙමින් ඒවා නීතිවිරෝධී ලෙස දිගින් දිගටම සිදුවන්නේ නම් ඒවාට ඉඩ දීමට කිසිසේත්ම හැකියාවක් නොමැත.
කිරිඇල්ලේ පවතින මෙම පතලේ විශේෂත්වය නම් බලපත්‍ර ලබා දීමට නොහැකි ස්ථානයකට මේ ආකාරයෙන් බලපත්‍ර නිකුත් කරන්නට පතල් හා කැනීම් කාර්යාංශය කටයුතු කළේ කෙසේද යන්නයි.මේ පිළිබඳව සොයා බලා නිසියාකාරයෙන් පරික්ෂණ සිදු කර එම නිලධාරින්ට නිසි දඩුවම් ලබාදීම එනම් බලපත්‍ර නිකුත් කිරීමේ කොන්දේසි වලට අනුකූල නොවන පුද්ගලයන්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතුය.
එසේම කිරිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ වගකීම වන්නේ තම පොලිස් ස්ථානය ආසන්නයේම සිදුවන මෙම පතල රත්නපුර කොට්ඨාස පොලිස් විශේෂ අපරාධ පරීක්ෂණ ඒකකය මගින් වටලන තුරුම ඔවුන් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී ඒ සම්බන්ධව අවශ්‍ය කටයුතු සිදු නොකර දේශපාලන අධිකාරියට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටීම කනගාටුවට කරුණක් බවයි.
එබැවින් පොලිස් ස්ථානාධිපතිවරුන් සිටින්නේ නීතිය හා සාමය ආරක්ෂා කර ගැනීමටත් සිදුවන වංචා ,දූෂණ ,අක්‍රමිකතා සොයා බලා ඒවා අධිකරණයට වාර්තා කිරීම ආදී මහජනතාවට අවශ්‍ය සාමකාමි රටක් නිර්මාණය කිරීමට හැර මේ ආකාරයෙන් පතල්වල කොටස්කරුවන් බවට පත් වෙමින් නිහඩ වෘතයක් රැකීමට නොවේ.තමන්ට ඉහළින් සිටින ආරක්ෂක අංශ නිලධාරින් අත්අඩංගුවට ගත් පසු එම කරුණ දේශපාලන අධිකාරිය දැනුවත් කර දේශපාඥයන් විසින් නැවත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් විසින් කතා කරවීම පොලිස් නිල ඇදුමට නොගැලපෙන කරුණකි.
පොලිස් ස්ථානාධිපතිවරුන් තම සේවය ලබා දෙන්නේ මහජනතාවට බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට වැටුපක්,යම් කිසි ආඩම්බරකාමි විය හැකි නිල ඇදුමක් ලබා දී තිබේ. එම නිසා ඔවුන්ගේ රාජකාරිය වන්නේ පරිසරය මෙන්ම මහජනතාවද ආරක්ෂා කර ගනිමින් ,මහජනතාවට වඩාත් මිත්‍රශීලි සේවයක් ලබා දීමයි.
මෙම පතලෙන් සතුටු වන්නේ මෙම පතලේ කම්කරුවන්, කොටස්කරුවන්,මැණික් ව්‍යාපාරිකයින් යන කිහිප දෙනෙකු පමණි.නමුත් තවත් දසදහසක පිරිසක් මෙවැනි නීතිවිරෝධී ක්‍රියා නිසා පීඩාවට පත් වන බව පොලිස් නිලධාරින් වටහා ගත යුතුව තිබේ.
එබැවින් තම පොලිස් දෙපාර්තමේන්තුවේ ආත්ම ගරුත්වය රකිනවා වෙනුවට පොලිස් දෙපාර්තමේන්තුවේ ආත්ම ගරුත්වය විනාශ කරන මෙවැනි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පොලිස් දෙපාර්තමේන්තුවට කැළලක් ,පීඩාවක් මෙන්ම දැඩි හානියක් බව වටහා ගත යුතුව තිබේ .
මෙම පතල සම්බන්ධ ඉදිරි කටයුතු කොට්ඨාස පොලිස් විශේෂ අපරාධ පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂණ සිදු කරනු ලබන බවට වාර්තා වන අතර කිරිඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීම පොලිස්පතිවරයාගේ වගකීම හා කාර්යභාරය වේ.
ඉහත පතලේ ඡායාරූප පහත විඩියෝව මගින් නරඹන්න.