වී අස්වනු මිලදී ගැනීමට මෝල් හිමියන්ට ණයක්.

මහ කන්නයේ (2023/24) වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් බිලියන නමයක ණය නිකුත් කිරීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට උපරිමය වශයෙන් රුපියල් මිලියන 50ක් දක්වාද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා උපරිමය රුපියල් මිලියන 25 ක්ද වන පරිදි ණය නිකුත් කිරීමට නියමිත බව සදහන්.

ණය ආපසු ගෙවීමේ කාලසීමාව දින 180 ක් වන අතර, මෙම ණය නිකුත් කරනු ලබන්නේ සියයට 15 ක වාර්ෂික පොළී අනුපාතයටය. ඉන් සියයට හතරක් මහා භාණ්ඩාගාරය විසින් දරන්නේය.

මේ අනුව, මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට වී අලෙවි මණ්ඩලයට අවස්ථාව ලබාදී නැති බව සදහන්.

Exit mobile version