මහගමසේකරයන්ගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි .

නූතන යුගයේ කවීන් අතරින් මෙරට සිටි අග්‍රගන්‍ය කවියෙකු ලෙස සැලකෙන මහගමසේකරයන්ගේ බිරිඳ වූ කුසුමලතා මහගමසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ .

කවියෙකු පමණක් නොව ගේයපද රචකයෙකු නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු, ළමාකතා රචකයෙකු, නාට්‍ය රචකයෙකු, චිත්‍ර ශිල්පියෙකු, කංචුක නිර්මාණ ශිල්පියෙකු, තිර රචකයෙකු සේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙස මහගමසේකරයන් කටයුතු කළ අතර ඔහුගේ බිරිඳ වන කුසුමලතා මහගමසේකර පේරාදෙණි සරසවියේ ශාස්ත්‍ර පීඨයෙන් පළමු උපාධිය ලබා මීරිගම මහා විද්‍යාලයේ උපාචාර්‍යවරියක ලෙස කටයුතු කරන ලදී .

ඉන්පසුව දිවයිනේ පාසල් කිහිපයකම භාෂාව හා සාහිත්‍ය ගුරුවරියක ලෙස බොහෝ කාලයක් සේවය කර 1963 සැප්තැම්බර් මස 05 වැනිදා මහගමසේකරයන් සමඟ විවාහ වූවාය.

මිය යන විට ඇය 88 හැවිරිදි වියේ පසු විය.

අවසන් ගෞරව දැක්වීම සඳහා කුසුමලතා මහගමසේකර මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ නොවැම්බර් 24 වැනිදා සිකුරාදා දින පෙරවරු 10.00ට තැන්පත් කරන බව වාර්තා වේ.

අවසන් කටයුතු නොවැම්බර් 25 වන සෙනසුරාදා පෙරවරු 10.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කරන බව සඳහන්.

Exit mobile version