දික්ඔය වනරාජ ප්රදේශයේදි ඇලකට පැන අතුරුදහන්වු තරුණයාගේ මල සිරුර කාසල්රි ජලාශයේ පාවෙමින් තිබියදී හැටන් පොලීසියේ නිලධාරින් විසින් ගොඩ ගන්නා ලදි.
මේ පිළිබඳව සිදු කරන ලද විමසීමකදි අදහස් දැක්වූ හැටන් පොලීසියේ නිලධාරියෙකු පවසන ලද්දේ ඔස්බෝන් වතුයායේ ඉහළ කොටසේ පදිංචිකරුවකු වන අවුරුදු 29ක් වයසැති සුරේෂ් කුමාර් යන අය 11වන දින අධික ලෙස බීමත්ව කාසල්රි ජලාශයට ජලය සැපයෙන දික්ඔය වනරාජ හිංදු කෝවිලට පහලින් ගලා යන ඇල මාර්ගයකට පැන අතුරුදහන් වී ඇති බවට තොරතුරු ලැබුන බවත්ය.
මෙසේ අතුරුදහන්වු පුද්ගලයා සොයා හැටන් පොලීසියේ නිලධාරින් මෙන්ම ප්රදේශයේ පිරිසක්ද එක්ව කටයුතු කළ බවත් එසේ සොයා බලන විට එම පුද්ගලයාගේ මල සිරුර මෙසේ කාසල්රි ජලාශයේ පාවෙමින් තිබෙන බවට තොරතුරු ලැබිමෙන් පසු එම මල සිරුර ගොඩ ගැනිමට පියවර ගත් බවත්ය.
එම නිලධාරියා වැඩිදුරටත් පවසන්නේ එසේ ගොඩ ගන්නා ලද මල සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්රික් මුලික රෝහල වෙත රැගෙන යාමට පියවර ගන්නා බවත් මේ පිළිබඳව හැටන් පොලීසිය විසින් වැඩි දුර පරික්ෂණ ආරම්භ කර ඇති බවත් ය.