ම්ලේච්ච පොලිස් නිලධාරීන් සැකකරුවකුට පහර දෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු හට පහර දෙන දර්ශන සහිත වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය  වෙමින් පවතී.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවකු හට මෙලෙස පහර දීමට හෝ තර්ජනය කිරීමට පොලිස් නිලධාරීන් හට නීතිමය වශයෙන් අයිතියක් හෝ බලයක් නැත. එසේම මෙම වීඩියෝවේ සදහන් වන ආකාරයට මෙම සැකකරු පොලිස් ජීප්‍ රථයෙන් පැන ගියත් කිසිම ආකාරයට පුද්ගලයකු හට පහර දීමට  පොලිස් නිලධාරීයෙකුට නීතිමය බලයක් ලබා දී නැත.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විනාශයට සහ පැවැත්මට දැඩි ලෙස හානිකර තිබෙන්නේ පොලිස් නිලධාරීන්ගේ මෙවන් ම්ලේච්ච හැසිරීම් වන අතර මහජනතාවගෙන් වැටුප් ලබන ඔහුන් හට කිසිසේත්ම මහජනතාවට පහර දීමට අයිතියක් නැත. සැකකරු පොලිස් ජීප් රථයෙන් පැන ගියේ නම් එහි වරදද පොලිස් නිලධාරීන්ගේම විනා අත්අඩංගුවට පත් සැකකරුගේ නොවේ.

අත්අඩංගුවට පත් ඕනෑම සැකකරුවකුගේ උත්සාහය පැනයාමට බව පොලිස් නිලධාරීන් දැනගත යුතු අතර මොහු සැකකරුවකු විනා අපරාධකරුවකු නොවේ. එම නිසා මොහු හට පහර දෙන පොලිස් නිලධාරීන් හට  වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර මෙසේ එම නිලධාරීන් හට නීතිය ක්‍රියාත්මක නොවේ නම් තවදුරටත් පොලිස් දෙපාර්තමේන්තුව ගොඩ ගැනීමට නොහැකි වනු ඇත.

තවද මෙම පහරදීමට විරෝධය ප්‍රකාශ කරන අවට රැස්ව සිටි මහජනතාවටද අනෙක් පොලිස් නිලධාරීන් තර්ජනය කරන අයුරු මෙම වීඩියෝවේ දැකගත හැක.එම නිසා මෙවැනි ක්‍රියාවන් වලට දඩුවම් ලබා නොදී පුර්වාදර්ෂයන් බවට පත්වීමට ඉඩ නොදීමට පොලිස්පතිවරයාගේ හා මෙම සිදුවීම සම්බන්ධ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ වගකීම වේ.

එසේම මේ ආකාරයෙන්ම ඕපනායක ප්‍රදේශයේ තරුණයෙකුද පොලිස් නිලධාරියකුගෙන් පහර කෑ අතර ඔහුට පහර දුන් පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කොට ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට රත්නපුර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

යම්කිසි සැකකරුවකු අධිකරණයෙන් වරදකරු වනතුරු ආරක්ෂා කර ගැනීම පොලිසිය සතු වේ. මේ අකාරයෙන් පහර දී හෝ තර්ජනය කර ආරක්ෂා කිරීමට කිසිම ආකාරයක අයිතියක් පොලිස් නිලධාරීන්ට නැති බැවින් මෙම වීඩියෝපටයේ සදහන් සියලු නිලධාරීන් හට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

Exit mobile version