පොසොන් ජාතික උත්සවයට මුදල් සොයාගැනිමට පාත්තරයත් අරන් පිඬුසිඟා වඩින බව මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන නා හිමියෝ ප්‍රකාශ කළය.
පොසොන් උත්සවය සැමරීම වත්මන් නායකයන් හිතාමතා පැහැර හැර ඇතැයි ද නා හිමියෝ චෝදනා කළහ.
අපි ජනතාවගේ පැත්තේ ඉඳලා කෙලින් කතා කරනවා. ඒ නිසා මේ වැඩවලින් මට නෙවෙයි මේ රිදවන්නේ සම්බුද්ධ ශාසනයට.
මේ අය සිත් – පිත් නැති කළු ගල් වගේ මිනිස්සු .එහෙම කිව්වේ මම රට කරවන එවුන්ට .කළු ගලක් වුණත් බුදු පිළිමයක් නිර්මාණය කළාට පස්සෙ දෑත් නළල මත තබා අපේ බෞද්ධයෝ වන්දනා මාන කරනවා .මේ මිනිස්සු එහෙම නෑ .ඒ නිසා මකබෑවිලා යන්ඩ ඕන .
වැඩිදුරටත් අදහස් දැක් වූ මිහින්තලේ මහ නා හිමියෝ මෙසේ ද කීහ.
“මේ මිනිස්සු ඉන්න තුරාවට සුභ සිද්ධියක්,යහපතක් ,දකින්නට හම්බ වෙන්නේ නෑ .ජාති භේද කරයි ,පක්ෂ පාට අවුල වයි ,ඒ තුළින් ඒ අය රටේ පාලනය දැහැගන්ට බලාගෙන ඉන්නවා .මේවා මෙි රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන .
බුද්ධාගම සුරක්ෂිත කරනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා .
එයිනුත් අනිත් ආගම් වල සිත් රිදවීමක් තමා කරලා තියෙන්නේ. බුද්ධාගම සුරක්ෂිත කරලා පෝෂණය කරනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා.එහෙම නම් මේ ලංකාවේ පළවෙනි විහාරස්ථානය මේ ස්ථානය පිහිටා තිබෙනවා. මෙයිනුත් ඒ ඇත්තෝ වාසි ගන්ට උත්සාහ කරනවා . මුස්ලිම් මිනිස්සුන්ට ,දෙමළ මිනිසුන්ට , ක්‍රිස්තියානි මිනිස්සුන්ට ඒක අසාධාරණයක් නෙමේ ද .
ආණ්ඩුකාරවරයා ඇවිත් කීවේ වෙසක් එකට සත පහක් වත් දුන්නේ නෑ කියලා ,මූල්‍ය කළමනාකරණය කරනවලු .මහ දිසාපතිතුමා කීවා මිලියන පහක් දුන්නා කියලා .ජනාධිපති තුමා කියා තිබෙනවා පොසොන් එකත් වෙසක් එක වගේම සමරන්න ලු . දීපු මුදල්වලින් කරන්න බැරි නිසා මහ දිසාපති තුමා ඉහලට දැනුම් දුන්නලු. ඉහළ ඉන්න අය ගැන කතා කරලා වැඩක් නෑ , සමහරුන්ගේ කන් ඇහෙන් නෑ, ඇස් පේන්නේ නෑ හරියට අබ්බගාත යෝ වගේ .
ඒ නිසා මම තීරණයක් ගත්තා, මේ නුවරකලාවියේ ඉන්න මිනිසුන්ගේ ඇට මිදුලුවලට පවා මෙි පොසොන් උත්සවය කිදා බැහැලයි තියෙන්නෙ. මට තියෙන්නේ මේ බුද්ධ චීවරයත්, පාත්තරයක් පමණයි.මම හෙට ඉඳලා ජනතාව ඉදිරියට ගිහිල්ලා ඉල්ලීමක් කරනවා ,මෙවර පොසොන් උත්සවය කර ගෙන යෑම සඳහා ආධාර උපකාර කරන ලෙසට යනුවෙන් මිහින්තලේ මහ නාහිමි වලවාහැංගුණවැවේ ධම්ම රතන හිමියෝ පැවසූහ .
ලංකාදීප