මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට.

පාර්ලිමේන්තුව අද (03) පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, ලබන 6 වනදා දක්වා පළමු සතියේ සැසිවාරය පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අද පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පැවැත්වෙන අතර මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙන බවට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළ බව වාර්තා වේ.

එමෙන්ම සමථ මණ්ඩල පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිත අතර අධිකරණ සංවිධාන පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිත බව සදහන්.

මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවද අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල්යනු ඇති බවට විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
 
මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත සහ ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව නීතීඥ සාමූහිකය පවසති.

එහි නියෝජිත ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කළේ, එම පනත් ගෙන ඒම ආණ්ඩුවේ එක්තරා වැඩපිළිවෙළක කොටසක් දැයි සැකසහිත බවයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පැවසුවේ, අදාළ පනත් කෙටුම්පත් දෙක නීතිගත වුවහොත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තවදුරටත් සීමාවන බවයි.

සමාජ මාධ්‍ය හරහා අගතියට පත්වන අයෙකුට සාධාරණය ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය කටයුත්ත නිර්මාණය කිරීම පමණක් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත මඟින් සිදුවන බවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කර තිබේ.

Exit mobile version