ICC එක පිළිගන්නේ ශම්මි විතරයි – ආයෙත් ක්‍රිකට් ගහන්න ලැබුණේ ශම්මිගේ ඉල්ලීමකට – ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි.

ඊයේ (21) පැවති විශේෂ රැස්වීමේදී ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් සම්බන්ධ ගැටලුව නිවැරදි කිරීමට ශ්‍රී ලංකා රජයට අමතර කාලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩලය 2023 නොවැම්බර් 21වැනි දින අහමදාබාද්හිදී රැස් වූ බවත් , එහිදී ශ්‍රී ලංකාව ICC වෙතින් අත්හිටුවීම පිළිබඳ ප්‍රශ්නය සලකා බැලූ බවත් ය.

එමෙන්ම එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ,

“එම ක්‍රියාවලියට නිරීක්ෂකයකු ලෙස සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් සම්බන්ධ ගැටලුව නිවැරදි කිරීමට ශ්‍රී ලංකා රජයට අමතර කාලයක් ලබා දෙන ලෙස මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. කෙසේවෙතත්, ICC මණ්ඩලය, දේශපාලන මැදිහත්වීම්වලට ප්‍රතිචාර වශයෙන්, ලෝක රග්බි සහ FIFA(පාපන්දු) විසින් පනවන ලද සමාන අත්හිටුවීම් සැළකිල්ලට ගනිමින්, ගැටලුව විසඳීමට සහ නිවැරදි කිරීමට ශ්‍රී ලංකා රජයට දැනටමත් ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බව නිගමනය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවීම එම මණ්ඩලය විසින් තහවුරු කරන ලදී. අතුරු කමිටුවක් පත්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලන මැදිහත්වීමක් බව ICC හි අදහස බැවින්, ක්‍රීඩා ඇමැතිවරයා විසින් අතුරු කමිටුවක් පත්කරන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තහනම ක්‍රියාත්මක වනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබාදී තිබුණු ICC පිරිමි 19න් පහළ ලෝක කුසලානය, දැන් දකුණු අප්‍රිකාවට පිරිනමනු ලැබේ. තවද, 2024 ජූලි මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ICC වාර්ෂික සමුළුව ද මාරු කරනු ඇත. මෙම අත්හිටුවීම තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අරමුදල් සැපයීම ද දැඩි ලෙස සීමාකෙරෙනු ලැබේ. කිසිදු අතුරු කමිටුවක් පිළිනොගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ අතර, අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරී පත්වූ නිලධාරී මණ්ඩලය නිරීක්ෂකයකු වශයෙන් වුවද, අඛණ්ඩව පිළිගනු ඇත. කෙසේවෙතත්, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා ICC හි ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයා ලෙස පිළිගනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ICC සාමාජිකයන් වෙත කරන ලද දැඩි ආයාචනය අනුව, අත්හිටුවීම නොතකා, අන්තර්ජාතික වශයෙන් ද්විපාර්ශ්වික සහ ICC ඉසව් සඳහා තරඟ කිරීමට ICC මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ව්‍යතිරේකයක් සකස් කර ඇත.”

Exit mobile version