මෙලෙස වැරදි ආකාරයට විදුලි බිල වැඩි කිරීමට කටයුතු නොකරන්නැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නියෝගයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (20) පැවසූ බව වාර්තා වේ.
විදුලිබල මණ්ඩලය ලාභ ලබන හෙයින් විදුලි බිල මේ මොහොතේ වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද ඔහු සඳහන් කර තිබේ.
“අවුරුද්දකට විදුලි බිල වැඩි කරන්න පුළුවන් දෙපාරයි.හතර වතාවක් වැඩි කරන්න පුළුවන් කියලා දැන් විශේෂ පරිච්ඡේදයක් ඇතුළත් කරලා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව පනත උල්ලංඝනය කරමින් වැරදි වැඩක් කරනවා.
අද විදුලි බිල ගැන උත්තර දෙන්න ඇමති නැහැ. මේ ආකාරයට වැරදි විදිහට කටයුතු කරන්න එපා කියලා මහජන උපයෝගීතා කොමිසමට නියෝගයක් දෙන්න කියලා කතානායකතුමාගෙන් ඉල්ලනවා.
විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව දැඩි පීඩනයකට පත් වෙලා සිටිනවා. ආණ්ඩුව ඇයි ඒ පීඩනය නොසලකන්නේ.”