පොලිස් සැරයන්වරයාට බරපතළ තුවාල – බස් රියදුරු පලා යයි.

මහනුවර ගැටඹේ දුම්රිය ගේට්ටුව අසල සිදු වූ රිය අනතුරකින් මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බරපතළ තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

අද පෙරවරු 9.30 ට පමණ දුම්රිය ගමන් කිරීම හේතුවෙන් රේල් ගේට්ටුව වසා තිබූ අවස්ථාවේ මෙම සැරයන්වරයා යතුරුපැදිය නවතාගෙන සිට ඇති අතර ඔහු පසුපසින් නවතාගෙන සිටි පෞද්ගලික බස් රථයක් දුම්රිය ගේට්ටුව හැරීමටද පෙර ක්ෂණිකව පණ ගන්වා ඉදිරියට ගන්නා අවස්ථාවේදී සැරයන්වරයාගේ යතුරුපැදිය බස් රථයට යට වී ටික දුරක් ඇදී ගොස් ඇති අතර ඔහුගේ පාද බස් රථයට යට වී බරපතළ තුවාල ලබා ඇති බව සදහන්.

එම ස්ථානයේ සිටි පිරිස එක් වී බරපතළ තුවාල ලද සැරයන්වරයා මහනුවර ජාතික රෝහලට යැවීමට කටයුතු කොට ඇති අතර මෙම අවස්ථාවේ දී බස් රථයේ රියදුරු පලා ගොස් ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සදහන් කර ඇත්තේ පලා ගිය රියදුරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

Exit mobile version