(සමනොලේ දකුණු මිටියාවත – අප්‍රකට දෙහෙනකන්ද )
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබෙන සුන්දර ප්‍රදේශයකි. රත්නපුර නගරයේ සිට වේවැල්වත්ත මාර්ගයේ කි.මි 15ක් පමණ ගොස් නුගේපොල හන්දියෙන් වමට ඇති මාර්ගයෙන් මෙම සුන්දර පරිසරයට යා හැක. මෙම ප්‍රදේශය ශ්‍රී පාද අඩවියට මායිම්ව පිහිටා ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම උසකින් පිහිටා ඇති ගම් වලින් එකක් වන අතර රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්ක අතර ඇති රත්නපුර කෙලවරේම පිහිටා ඇති ප්‍රදේශයකි. රත්නපුර දිස්ත්‍රික්කයේ පහත්ම බිම් ප්‍රදේශයේ සිට (මු.ම සිට මී 30ක්) උසම ස්ථානය ( මු.ම සිට උස මී 2243) දක්වා එක තැනක සිට අoශක 180ක් හැරීමෙන් දැකගත හැක.
ස්වභාවික පරිසරය
ජල පෝෂක ප්‍රදේශයකි. මෙම ගම්මානය පිහිටා තිබෙන්නේ ශ්‍රී පාද අඩවියට යාබදවය. වේවැල්වත්ත මාර්ගයේ ගමන් ගන්නා විට පෙනෙන බොහෝ දිය ඇලි(දෙහෙන ඇල්ල, මධනගිරි ඇල්ල, පාඩි ඔය) ආරම්භ වන්නේ මේ ප්‍රදේශයෙන්ය. ලෝකයේ එක් ප්‍රදේශයක කටු කිතුල් වැඩියෙන්ම ඇත්තේ මේ පරිසරයේය. ලංකාවට අවේනික මසුන් හා ගොඩ බිම් සතුන් මෙන්ම ශාක ද බොහෝ ප්‍රමාණයක් මෙහි ඇත. මැණික් සම්පතද ඇත.
ඓතිහාසික වටිනාකම්
මෙම ප්‍රදේශය ශ්‍රී පාද පුද බිමට ආසන්නවම පිහිටා ඇත. එහෙයින් ඓතිහාසික ජනාවාස තිබී ඇති බව පැහැදිලිය. ඉංග්‍රීසින් විසින් තේ වගා කිරීම හේතුවෙන් බොහෝ දෑ යටපත් වී ගොස් ඇත. යක්ෂ ගෝත්‍රයේ පිරිස් මෙහි වාසය කල බව පැවසේ. මධනගිරි නම් යක්ෂ ගෝත්‍රයේ නායකයෙක් ගැනද ජනප්‍රවාද වල පැවසේ.
තේ වගාව
දෙහෙනකන්ද පුරාවටම දැකිය හැක්කේ තේ වගාවය. සාමාන්‍ය තේ මෙන්ම සරුවට වැවුණු චීන තේද දක්නට හැක. ජේම්ස් ෆින්ලේ සමාගම විසින් අක්කර 4000ක පමණ තේ වගා කර ඇත. මෙහි වගාව ආරම්භ කර ඇත්තේ 1800 වකවානුවේ මුල් කාලයේය.
වෙනත්
මෙම ප්‍රදේශයේ එවකට අශ්ව ක්‍රීඩා පවා පවත්වා ඇත. කාමර විශාල ප්‍රමාණයක් සහිත බංගලා අදටත් දැකිය හැක. එකල අශ්ව කරත්ත ගමන් කිරීමට යොදාගත් ගල් ඇතිරූ මාර්ගද දැකිය හැක. දෙහෙනකන්ද යනු වෙනම රාජධානියක් වැනිය. 1971 කැරැල්ලට සම්බන්ද සැකකරුවන් ගෙනවිත් කෘර ලෙස වද හිංසාවට ලක් කල වධකාගාරයක්ද දක්නට හැක.
ශ්‍රී පාදයට මාර්ගයක් –
ශ්‍රී පාදයට යා හැකි මාර්ගයක්ද ඇත. ඒ මූක්කුවත්ත නම් ගම්මානයෙන් ශ්‍රී පාද අඩවියට ඇතුළු වීමෙනි. මෙම මාර්ගය සකස් කරන්න පෙරමුණ ගන්නේ අමුණුතැන්නේ පදිංචිව සිටි වෙඩික්කාරගේ ඩිංගිරි කන්කානම් මහතාය. ඒ 1933 වසරේ පෙබරවාරි 8 වන දිනය. මෙම ඓතිහාසික සැකසුමට කරෝලිස් අප්පුහමි, බඹරබොටුව දේවාලයේ කපුමහතා, හෙට්ටිගම කිරි අංචියා, පැලැන්දගම ඩින්ගිරියා හා හතන්කිරා හා කැකිල්ලවල අප්පුහාමි යන 6 දෙනාද එකතු වී ඇත. මේ පිළිබඳව ඩිංගිරි කන්කානම් මහතා පොතක සටහන් කර ඇත. එම පොත ඔහුගේ මිණිබිරියක් වන පැලෑන්දගම පදිංචි P.P රත්නසීලි මහත්මිය සතුව ඇත.
සංචරනයට ඉතාමත්ම උචිත පරිසරයකි. මාර්ගය අවසානය වෙන තෙක් වාහනයකින් ගමන් කල හැක. එක් අවන්හලක් ද ඇත. රත්නපුර සිට පැය කිහිපයකින් යා හැක. සුන්දර දෙහෙනකන්දේ චමත්කාරය විඳ පරිසරයට කිසිම හානියක් නොකර පැමිණීම අපි හැමෝගෙම වගකීමකි.
(අනුෂ්ක දිල්හාර කලුපහන)