රනිල් ජනාධිපතිවරණයට සූදානම් – අවශ්‍ය මුදල් ප්‍රමාණය කියන්න – මැතිවරණ කොමිසමට දැනුම් දීමක්.

ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වන බව රජයේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රතිපාදන අවශ්‍ය දැයි ගණනය කොට තමාට වහාම දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට දැනුම් දීමක් ද කර ඇති බව සඳහන් වේ.

වාර්තා වන ආකාරයට මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනපතිවරණයට වැය වන මුදල් ප්‍රතිපාදන ඉදිරි අයවැය ලේඛනයට ඇතුළත් කර මුදල් වෙන් කර ගත යුතුව ඇති බවයි.

ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් මුදල් අමාත්‍යංශයට යොමු කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර අදාළ මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟද සාකච්ඡා කරන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා වේ .

Exit mobile version