- මෙවර සා.පෙළ දරුවන්ගේ තුන් වන වාරයේ ප්‍රශ්න පත්‍ර පිටවෙලා.
- 8.9.10 වසර දරුවන්ගේ ප්‍රශ්න පත්‍රත් පිටවෙලා.
- සබරගමු අධ්‍යාපන බලධාරීන් නිදිවර්ජිතයි.
- දුෂණයේ ආරම්භය හිටපු අධ්‍යාපන ලේකම්ගෙන් (වර්තමාන ආණ්ඩුකාර ලේකම්)
අධ්‍යාපනයේ මළගමට පාර කියන සබරගමු පළාතේ විභාග මාෆියාව රත්නපුර දිස්ත්‍රික්කයත් කෑගල්ල දිස්ත්‍රික්කයත් අයත් වන සබරගමු පළාත මෙතෙක් ලංකාව තුළ අධ්‍යාපන මට්ටම අතින් හිමිකර ගෙන ඇති ස්ථානය ඇතැම්විට සම්පත් හා පහසුකම් ඇති බස්නාහිර පළාතට දෙවැනි වන්නේ ඉතාම සුළු වශයෙනි.
එවැනි තත්ත්වයකට සබරගමුව පළාතේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබුවේ කැපවීමෙන් ඉගැන්වූ ගුරුවරුන් , ඒ සදහා මගපෙන්වු විදුහල්පතිවරුන් හා අධ්‍යාපන පරිපාලනයේ ඉහළ සිටි නිළධාරීන්ගේ දුරදක්නා නුවණෙන් කරන ලද අසීමිත කැපකිරීම් වල ප්‍රතිඵලයක් ලෙසිනි.
ඒ අතිතයේ ය.නමුත් වර්තමානය සැබෑ යතාර්ථය නම් වාර විභාගයක්වත් හරිහැටි පවත්වන්නට නොහැකි බංකොලොත් අධ්‍යාපන අමාත්‍යංශයකි. මේ පිළිබඳව අප කළ ගවේශණයේදී දරුවන්ගේ අධ්‍යාපනය හා ඔවුන්ගේ අනාගතය සමග සෙල්ලම් කරන සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැටිකිරිය මෙසේය.
අපට ඊයේ (20) හවස ලැබුණු තොරතුරු වලට අනුව සබරගමුව පළාතේ පාසැල්වල 11 වන ශ්‍රේණියේ 3වන වාරයේ භූගෝල විද්‍යාව සහ තොරතුරු තාක්ෂණ විෂයන් සඳහා වන ප්‍රශ්න හා පිළිතුරු පත්‍ර විභාගයට කලින් සිසුන්ට ලැබී තිබේ.
මේවා ඇසීමෙන් ඔබට ඇතිවන්නේ කුමන අන්දමේ සිතුවිල්ලක්ද? මේ සිදුවීම හෙට දිනයේ පමණක් සිදුවීමට නියමිත සිදුවීමක් නොවේ. ඉකුත් දින කිහිපයේම පැවැත්වූ වාර විභාගයේ සියළුම ප්‍රශ්න පත්‍ර සහ ඊට අදාළ පිළිතුරු පත්‍රයද සහිතව විභාගයට කලින් සිසුන් අතරට ගොස් තිබුණි. ඒ සියලු ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත් මේ ලියුම්කරු සතුවෙයි. මෙය පුවතක් නොවේ. රටක අධ්‍යාපන මළගමේ සොහොන් ලකුණුය. අපට ඇති ප්‍රශ්ණය නම් මෙසේ විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් ඒ ඒ විද්‍යාලවල විෂය භාර ගුරුභවතුන් ගෙන ඇති පියවර කුමක්ද? ඒ ඒ විදුහල්වල විදුහල්පතිවරුන් ගෙන ඇති පියවර කුමක්ද? මේ සිද්ධිය සැලවීමෙන් පිළිවෙළින් කොට්ඨාස, කලාප සහ පළාත් අධ්‍යාපන බලධාරීන් ගත් පියවර කුමක්ද? අධ්‍යාපන විෂය භාරව සිටින්නේ පළාතේ ආණ්ඩුකාරවරයාය. මෙවන් සිදුවීම් සිදුවෙද්දී ආණ්ඩුකාරවරයාගේ ප්‍රතිචාරය කුමක්ද? මේ මොහොතේ දී සියල්ල නිහඩය. සැවොම කසාය බිව් ගොළුවන් සේ නිහඩව බලා සිටී. මෙවැනි බරපතල ගණයේ සිදුවීමක් සිදුවන්නේ හෙට අනිද්දා අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභායට පෙනී සිටින දරුවන්හටයි. මෙවැනි අකටයුතු සිදුවන විට ඔවුන්ගේ මානසිකත්වය කෙබඳු වේද? කොවිඩ් වසන්ගතය රටේ ආර්ථිකය කඩා වැටීම් වැනි සකලවිද ව්‍යසනයන්ට ගොදුරුව යාන්තම් අධ්‍යාපනයේ බලාපොරොත්තුව පමණක් ඉතිරිව සිටි දරුවන්ට දෙමව්පියන්ට කියන්න ඇත්තේ කුමක්ද?
මෙම විභාග ප්‍රශ්න පත්‍ර පිටවී ඇත්තේ 11 වන ශ්‍රේණියේ පමණක් නොව 10වන ශ්‍රේණිය, 9වන ශ්‍රේණිය, 8 වන ශ්‍රේණිය වැනි සැම ශ්‍රේණියකම විභාග ප්‍රශ්ණ පත්‍ර මෙලෙස පිටවී ඇත. විභාගයක පවතින රහස්‍යභාවය සුරැකීමට නොහැකි අධ්‍යාපන බලධාරීන්ට පවසන්නට ඇත්තේ කුමක්ද ? එසේම මෙලෙස අමු අමුවේ උල්ලංඝණය කරන්නේ රටක අනාගත දුවා දරුවන්ගේ මානව අයිතියක් නොවේද ?මුදලට එසේත් නැත්නම් වෙනත් ලාභ අපේක්ෂාවෙන් මේ විභාග මගඩිය සිදුකරන අය නිතීයේ රැහැනට හසුගර ගත යුතු නොවේද?
සබරගමු පළාතේ හිටපු අධ්‍යාපන ලේකම්වරයා වර්තමාන පළාත් ලේකම්වරයා බවට පත්ව තිබේ. ඔහු අධ්‍යාපන ලේකම්වරයා සමයේ දී සබරගමු පළාතේ අධ්‍යාපනය දුෂණයට ලක්වේ. ඔහු බිහිකළ දුෂිත ක්‍රියාවලිය කෙතරම් දුෂිතද යත් පැවති යහපාලන රජය පෙරලීම සදහා සබරගමු අධ්‍යාපනය බිලි දුන්නේය. එහි ප්‍රතිඵලය ලෙස ගෝඨාභය ජනපති වූ වහාම ඔහු කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා බවට පත්විය. ඔහු අධ්‍යාපන ලේකම්වරයා සමයේ දරුවන්ගේ ජීවිත අනතුරේ තැබීම පිළිබදව ඔහුට එරෙහිව ගොඩකවෙල පොලිස් ස්ථානයටද පැමිණිලි ඉදිරිපත් වී තිබුණි. ඔහුගේ දුෂිත ක්‍රියාවලියන් පිළිබදව හඩ පටද අප සතුව තිබේ. එබැවින් එවැනි දුෂිත නිලධාරියකු සබරගමුව පළාත් ලේකම්වරයා සිටියදීම ජනාධිපතිවරයා දරන වෙහෙසට එරෙහිව මහජනතාව කැළඹීමකට ලක් වන ආකාරයේ කටයුතු සිදුවීම ඔහුට සාමාන්‍ය දෙයකි. නමුත් සබරගමු පළාත් දෙමාපියන් ඔහු ඇතුළු බලධාරීන්ගේ හත්මුතු පරම්පරාවම අමතමින් සිටී.
අතිගරු ජනාධිපතිතුමනි සබරගමු පළාත් ආණ්ඩුකාරතුමනි රට ගොඩනැගෙන්නට නම් මෙවැනි දුෂිත ක්‍රම සිදුකරන පුද්ගලයන් හට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කලයුතුය.
එසේ නොමැති වුවහොත් මෙම ප්‍රශ්නයට මුහුණ දී සිටින දහස් ගණනක් වන දරු දැරියන්ද වැඩිහිටියන් බවට පත් වූ පසු මෙවැනි දුෂිත ක්රමම අනුගමනය කරනු ඇත. වැඩිහිටියන්ගේ වරදින් දුෂිතයන් බවට පරිවර්තනය වන මෙම දරු පරපුරට අනාගතයේදී දොස් තබා පලක් නැත. එබැවින් තරාතිරම නොබලා ඔහුන්ට දැඩි දඩුවන් පමුණුවන ලෙස සබරගමු පළාතේ දෙමාපියන් ඉල්ලා ඇත.