තමා හැර ගොස් සිටින බිරිඳ හා අනියම් සැමියා ඝාතනය කිරීම සඳහා කිලිනොච්චිය පලෙයි යුද හමුදා කඳවුරෙන් ටී 56 වර්ගයේ ගිනි අවියක් හොරෙන් රැගෙන ගිය යුද හමුදා සෙබළෙකු මාන්කුලම ප්රදේශයේ දී යුද හමුදා පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
සැකකරු කුරුණෑගල ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.
මොහු නිවාඩු ලබා ගෙන සිට නිවස වෙත යන අවස්ථාවේදී ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා ජීව පතොරොම් 120 ක් අඩංගු බහාලුම් හතරක් රැගෙන ගොස් තිබේ.
ගබඩාවේ එම ගිනි අවිය නොමැති බව දුටු හමුදා නිලධාරීන් වහාම නිවාඩු ලබා ගෙන ගිය පිරිස සොයා යමින් සිටියදී මෙම යුද හමුදා සෙබළා දුම්රියකට ගොඩ වී සිට ඇති අතර ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කර බැලීමේ දී ගිනි අවිය හා පතොරොම් හමුවී තිබේ.
යුද හමුදා පොලීසිය විසින් ඔහුගෙන් සිදු කළ ප්රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ සිය බිරිඳ ඔහුව හැර ගොස් මුදල් පොලියට දෙන අයෙකු සමඟ ජීවත් වන බවත් , බිරිඳ හා ඔහුව ඝාතනය කිරීම සඳහා මෙම අවිය රැගෙන ගිය බවත් ය.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාර යුද හමුදා සෙබළා පලෙයි පොලීසිය වෙත භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු එම පොලීසිය විසින් සිදු කරනු ලබයි.