බෞද්ධ පෙරහැර සජීවීව පෙන්වන්න එපා – දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකයෙන් මාධ්‍යයට තර්ජන.

දළදා මාළිගාවේ පෙරහැර සජීවීව විකාශය නොකරන ලෙසට දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මාධ්‍යයට තර්ජනය කර තිබේ.

දළදා මාළිගාවේ පෙරහැරේ සජීවී විකාශයක් ශ්‍රී ලංකා නිව්ස් වෙබ් අඩවියට අයත් නිල ෆේස් බුක් පිටුවේ විකාශය කරනු ලැබුවේය. සජීවී විකාශය විකාශය වන අතරවාරයේදී දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරියෙක් බව කියන පුද්ගලයෙක් ශ්‍රී ලංකා නිව්ස් වෙබ් අඩවියට දුරකතනයෙන් අමතමින් වහාම සජීවී විකාශය නතර කරන ලෙසට තර්ජනය කර තිබුණේය.

සෙනසුරාදා රාත්‍රී 9.40ට පමණ 0767464556 යන දුරකතන අංකයෙන් කතා කරමින් මෙම තර්ජනය කර තිබුණේය. එසේ සජීවී විකාශය නතර නොකරන්නේ නම් රිපෝට් කරමින් වීඩියෝව ඉවත් කිරීමට කටයුතු කරන බවට ද එම නිලධාරියා තර්ජනය කරමින් පැවසුවේය.

දළදා මාළිගාවේ නිල සජීවී විකාශය ශ්‍රී ලංකා නිව්ස් වෙබ් අඩවියට ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලීම් කළ ද මාළිගාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරියා එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.

දළදා පෙරහැර ලෝකයට රැගෙන යාමට කටයුතු කරන අවස්ථාවකදී එයට එරෙහිව මාළිගාවේ මාධ්‍ය ඒකකයේ නිලධාරීන් කටයුතු කරන්නේ කුමන හේතුවක් නිසාදැයි ශ්‍රී ලංකා නිව්ස් කර්තෘ මණ්ඩලය, ප්‍රශ්න කර සිටී.

කෙසේ නමුත් මෙම අදාළ මාධ්‍ය ආයතනයට මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හැකිය. ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුළ පෙන්වා දී තිබේ . එසේම මෙම දළදා මාළිගාවේ මෙම මාධ්‍ය ඒකකයට මීට පෙර ද විවිධ වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව චෝදනා එල්ල වී තිබේ . මෙම මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ද බිලියනපතියෙකු වූයේ කෙසේද යන්න සොයා බලන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විටත් පැමිණිලි ගොස් තිබේ.

Exit mobile version