පන්තියේ සිසුන්ට ටියුෂන් දුන් ගුරුවරු දහයකට ස්ථාන මාරු.

තම පන්තියේ සිසුන්ට පෞද්ගලික උපකාරක පංති පැවැත්වූ මධ්‍යම පළාතේ ගුරුවරුන් දස දෙනෙකු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ස්ථාන මාරු කර යවා තිබෙන බව වාර්තා වේ.

තම පන්තියේ සිසුන්ට උපකාරක පංති පැවැත්වීම ගුරුවරුන්ට තහනම් කරමින් තිබූ චක්‍රලේඛය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස මෙම ගුරුවරුන් ස්ථාන මාරු කර යවා තිබේ . මෙම ගුරුවරුන් සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ද පවත්වා තිබෙන අතර ඊට අදාළව අමාත්‍යාංශය කළ නිර්දේශයකට අනුව දෙපාර්තමේන්තුව විසින් මෙය ක්‍රියාත්මක කර තිබේ .

මෙම ගුරුවරුන්ගෙන් කිහිප දෙනකු ස්ථාන මාරුව භාර නොගෙන අභියාචනා ඉදිරිපත් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර තිබේ .

එම අභියාචනා විමර්ශනයෙන් පසුව යම් ගුරුවරයෙක් ස්ථාන මාරු භාර නොගන්නේ නම් එය සේවය අතහැර ගියා සේ සලකන බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම ස්ථාන මාරු ලබා දී ඇත්තේ අදාළ අධ්‍යාපන කලාපය තුළම බව වාර්තා වේ .

Exit mobile version