තෛපොංගල් දිනය අදයි.

සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.

ලෝකවාසී හින්දු භක්තිකයින් සමග මෙරට හින්දු භක්තිකයින් අද එම උත්සවය හරසරින් සැමරීමට සුදානම්ව සිටී.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් උත්සවය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමක් බවයි.

වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

ස්වාභාවධර්මය සමග බැදි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දෙමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබාගැනීම උදෙසා සුර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වන බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසා තිබේ.

එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇති බවද තෛපොංගල් දින පණිවුඩයෙන් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෛපොංගල් දින පණිවුඩයක් යොමුකරමින් ස්වාභාවධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක එකේ රට බවට පත්වීමේ නව ගමනකට එක්වන ලෙස සියලු ලෝකවාසී ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළේය.

Exit mobile version